Ajith Kawsike Wijenaike , Sanath Nandasiri- නවාතැනින් ඇය යනවා - වරමි ලබා සරසවියට-----





 

Ajith Kawsike Wijenaike , Sanath Nandasiri- නවාතැනින් ඇය යනවා - වරමි ලබා සරසවියට-----

ලොව පවතින්නේ යාමි ඊමි මතය.. මහැදුරැ සරචිචන්ද්‍රයන් සිය මළවුන් ගේ අවුරැදු දා නවකතාවෙහි ඒ බව දක්වා ඇත්තේ මෙපරිද්දෙනි.
'' තව කල් දැම්මත් කවදා හරි යන්න එපා ය? මොකට ද කල් දාලා? ඉක්මනින් ගිය තරමට ඉක්මනින් එන්න පුලුවන්.. යාම හොදය ගොස් ඊම ද හොද ය. ලොව ඇත්තේ යාම් ඊම ය. නෑවිත් යන්ට බැරිය. නොගොස් එන්ට බැරිය.
( මළවුන් ගේ අවරැදු දා පිටු අංක - 137‍/ 138 )

මේ වෙන්වීමක සැබැ යථාර්ථයයි.. නමුත් අප මෙවැනි වෙන්වීම් කොපමණකට නම් සංසාරය පුරාවට කදුලු සලා ඇත් ද, කොපමණ නම් වේදනාවෙන් උමතු වී ඇත් ද? මානව ජීවිතයේ ඇති කටුකම අත් දැකීම වෙන් වීම යැයි හැගෙන්නේ එවැනි විටකය. වරක් බුදුන් වහන්සේ අප සංසාරය පුරාවට ප්‍රියයන් අහිමි වීම හේතුවෙන් හඩා ඇති කදුලු සතර මහ මුහුදේ පැන් වලටත් වඩා වැඩි බැව් ප්‍රකාශ කර අනමතග්ගපරියාය සුත්‍රය මගින් දේශනා කර ඇත්තේ මෙපරිද්දෙනි...

චතුසු සමුද්දේසු ජලං පරිත්තකං
තතෝ බහුං අස්සුජලං අනප්පකං
දුක්ඛේන ඵුට්ටස්ස නරස්ස සෝචනා
කිං කාරණා සම්ම තුවං පමජ්ජසි

සැබෑවකි ලොව සෑම හමුවීමක් සමගම වෙන්වීමක සේයාවක් රැදී ඇත... ආදරණීය බැදීමිවල දී මෙකී වෙන්වීම බොහෝ කටුකය .. අප කිසිදාක එවැනි වෙන්වීමක් පතන්නේ ද නොමැත... ප්‍රේමය වැනි බැදීමක් අවසන් වන්නේ කටුක වෙන් වීමකින් නමි ඒ වෙන් වීමට මුහුණ දෙන්නෝ කොතරමි නමි විදවනවා ඇත්දැයි යන්න දන්නේ එවැනිම වේදනාවකට සැබෑ ජීවිතයේ මුහුණ දුන්නෝ පමණකි... සරසවි ගීත සාහිත්‍යයේ එක් තැනෙක බොහෝ අය නොඇසූ ගීයක රැදුණු එකී වෙිදනාත්මක සමු ගැන්මකට මා බොහෝ කලක සිට පෙමි බදිමි.. එදා සුනිල් සරත් පෙරේරා නමි අද්විතීය නිර්මාණකරැවා ගේ පදබැදුමක් ලෙසින් බිහිවන මෙය සැබැවින්ම වියෝගය නමි මනෝභාවයෙහි වෙිදනාව මෙන්ම පරාජිත බවක වෙිදනාව ද අද ද මා හට පසක් කරති...

කියවන්න සම්පුර්ණ ගීත විචාරය -http://wp.me/p5sk2F-6X

මැටිටි කෙටිකතා ව ..



“මැට්ටි අද එන්නේ නැද්ද ...” පවන් මහ හයියෙන් කෑ ගහනවා.මේ උදේ පාන්දර මොන මල වදයක්ද මන්දා.මේ මෝඩයට යන මගුලක මං නැතුව යන්න බැයිද දන්නෑ.හිතින් බැන බැනම මම ඇහැරියා.
“ඉන්නවා මං එන්නම්.මං එනකන් කන්නේ එහෙම නෑ හරිද පෙරේතයා...”
“හුහු මං කනවා.ඔහේ එනකන් මං මොකට ඉන්නද....”
“එහෙනම් කා ගන්නවා බුරුවා ...”
මේ උදේ පාන්දර මගෙ ඇගේ ලේ පුච්චනවට මේ බුරුවගේ දත් ටිකම හැලියන්....
දඩි බිඩි ගාලා ලැහැස්ති වෙලා මං campus එකට දිව්වෙ හොදටම පරක්කු වෙලා හින්දා...මං faculty එක පැත්තට යනකොට ඒක ඉස්සරහ බෙන්ච් එකට වෙලා පවන් මග බලන් ඉන්නවා...මට ඒ වෙලාවෙ නම් පව් කියලත් හිතුනා.
“මෝඩි....”කෑම එකත් දික් කරන් පවන් හිනා වෙවී ඉන්නවා...
“ඔයා කෑවද....????”
“නෑ මැට්ටි..ඔයා කාලා මටත් බාගයක් දෙනවා ”
ඇත්තටම මට පවන් ගැන ගොඩක් දුක හිතුනා.මං පවන්ගේ කෙල්ලත් නොවී එයා මං වෙනුවෙන් කරන දේවල්....හොදම යාළුවෝ කියන්නෙ ඒක තමා.
අපි දෙන්නම ලෙක්චර් hall එකට ගිහින් ඒකෙ පිටි පස්සෙම කොනකින් වාඩි උනා.ලෙක්චර්ස් තියෙන වෙලාවට නම් පවන් ගේ කට වැහිලා...ඒ වෙලාවට මං කථා කලොත් මටත් ටොක්කක් ඇනලා අහන් ඉන්න කියනවා..
ඇත්තම කිව්වොත් පවන් ලස්සන කොල්ලා.campus එකේ මගෙ හොදම යාළුවා.ගතිගුණ අතිනුත් මාරම හොදයි.හැබැයි පුදුමෙ කියන්නේ තාම කෙල්ලෙක් නෑ...ඒ පිස්සාට කොහොමත් කෙල්ලෙක් හොයා ගන්නත් වෙන්නෙ නෑ මාත් එක්ක ඉන්නකම්... හැම වැඩකදි ම මගේ හෙවනැල්ල වගේ පස්සෙන් ඉන්නේ පවන් තමා...අපි යාළුවො උනේ මහ පුදුම විදියට..dress code කාලෙ පටන් ගත්ත යාළු කම සැහෙන්න දුර ගිහින් අපිට අපි නැතුව ඉන්න බැරි තරම් වෙලා දැන්...
“නිදි මතයි පවන්.....”මං නිදි මත බේරෙන ඇස් දෙක පවන් දිහාට හරවන් කිවා..
“මුණේ වතුර ටිකක් ගාගෙන පාඩම අහන් ඉන්න...”
“හ්ම්ම්ම්ම් ”
මං ඇස් ඇරන් ඉන්න හැදුවට කොහොමවත් ඉන්න බෑනෙ...කරන්නම දෙයක් නැති තැන මං පුටුවට ඔළුව ගහ ගත්තා..දෙයියනේ කියලා ඇස් දෙක පියාගෙන ආවා විතරයි කවුදෝ අත කෙනිත්තුවා මට තරු පේන්නම...ඔළුව උස්සලා බලනකොට අර පවන් කියන බුරුවා මොකුත් උනේ නැති ගානට මැඩම් දිහා බලන් ඉන්නවා...මටත් කේන්තිය වැඩි කමට පවන් ගෙත් අත හයියෙන් කොනිත්තලා පාඩම අහන් ඉන්න පටන් ගත්තා.ඒ කොනිත්තපු කොනිත්තිල්ලට මොන නිදි මතක්ද..නිදි මත කොහේ ගියාද දන්නෑ.
ලෙක්චර් එක ඉවර වෙලා අපි දවල්ට කන්න යනකොට තමයි මං දැක්කේ පවන්ගේ අත තුවාල වෙලා තියෙනවා.
“මොකද මැට්ටෝ මේ ...”
“මෝඩියක් මාව කෙනිත්තුවනේ ”
“අනේ මං තුවාල කරන්න හිතුවෙ නෑ.sorry පවන් ...”පවන් ගෙ අතේ තුවාලෙ දැක්කම නම් මට මං ගැනම කේන්තියක් ආවා...එච්චර දෙයක් වෙලත් මේ මැට්ටා මට නිකමට වත් කිවේ නෑනේ..අනේ පව් 
පවන් මගෙන් ගුටි කන තරමට අම්මා තාත්තාගෙන් ගෙන් වත් ගුටි කාලා නැතුව ඇති..ඒත් එයා නෙවෙයි ඒ ගැන වචනයක් වත් කියන්නේ..පවන් ගැන මගේ හිතේ තියෙන්නේ යාලුවෙක් ගැන තියෙන හැගීමට වඩා ගොඩක් ලොකු හැගීමක්.ඒක කොයි වගේ හැගිමක්ද කියලා කියන්න නම් මට තේරෙන්නෙ නෑ.එයාගෙ පොඩි වචනයක් උනත් ඇති මගේ හිත රිදෙන්න.එහෙම දවසට පැත්තකට වෙලා මූඩ් ගහන් ඉන්න එක තමා මගෙ පුරුද්ද.පවන් මගෙන් ඈත් උන දවසට කොහොම ඉන්නද කියලා ඇත්තටම මට හිතා ගන්න බෑ..
“මොනාද මෝඩි කල්පනා කරන්නෙ ...” මගෙ bag එකෙන් ඇදලා පවන් ඇහුවා..
“මැට්ටෙක් ගැන ”
“හ්ම්”
ඒ පාර පවන් ලොකු කල්පනාවක....හා හුවක් නෑ.මේ මනුස්සයට මොනා උනාද ඒ පාර..
“මොකද උනේ ....”පවන්ගේ අතින් ඇදලා මං ඇහුවා.
“මොකුත් නෑ..අද මං ටිකක් කලින් යන්න ඕන..මං යනවා එහෙනම් ”
ඒ පාර මෙයා යන්න හදනවා..හා යන්නැතෑ..මටත් මොකෝ...මල සමයන්....
පවනුත් campus එකේ නැති එකේ මාත් ඉදලා වැඩක් නැති නිසා මාත් ගෙදර ආවා.ගෙදර ආවට පස්සෙත් වෙනදා වගේ පවන් ගෙන් message එකක්වත් නෑ.යසට හිටපු මේ මනුස්සටය මක් උනාද මන්දා.මටත් නිකන් හිතට හරි නෑ වගේ..මං ඉතින් මොකුත් කලෙත් නෑනේ.කමක් නෑ කෝකටත් කියලා මං පවන්ට ගත්තා call එකක්.
“මොකද මැට්ටෝ උනේ...ගාල කඩා ගත්ත හරකා වගෙ දිව්වේ ???”
“මොකුත් නෑ ”
“නැත්තෙ මොකෝ ...මේ හලෝ ඔයාගෙ පොඩි වෙනසක් උනත් හොදට තේරෙනවා හරිද ...”
“ඒක හින්දා වෙන්නැති එක එක අය ගැන කල්පනා කරන්නෙ .....”
“ආ...ඒකද මේ....ඔයාට නම් පිස්සු අප්පා...මං ඒක විහිලුවට කිවේ ..මෙයා ඒක serious අරන්නෙ...”
“කව්ද දන්නෙ ඉතින්..මෝඩි ”
අනේ ඇත්තට මෙහෙමත් මැට්ටෙක් නම්....
ඇත්තටම පවන්ගේ හිතේ මං ගැන තියෙන්නෙ මොන විදියෙ හැගීමක්ද කියලා කියන්න මට තේරෙන්නෑ..ඒක යාළු කමට එහා ගිය දෙයක්ද කියලා ඇත්තටම මට හිතා ගන්න බෑ.
පවන් ගැන හිතන හැම වෙලාවකම මට දැනෙන හැගීම විස්තර කරන්න මට වචන නෑ.මට කවදාවත් ඒ හැගීම වෙන කව්රු ගැනවත් දැනිලා නෑ...එයා මගෙ ළගින් ඉන්න හැම වෙලාවකම මට දැනෙන්නේ මං තනි වෙලා නෑ වගේ හැගීමක්...ඒත් කවදාවත් මං එයාට ඒක දැන ගන්න නම් තියලා නෑ..කියන්න බෑනේ ඔය මැට්ටා මොනා කියයිද කියලා...කටත් හොද නැති එකේ මාව බයිට් කලොත් එහෙම....
“මැට්ටි ඔයාට කියන්න බඩ්ඩක් තියේ....”
“ඒ මොකක්ද ඒ ”
“ලස්සන කෙල්ලෙක් ඉන්නවා හලෝ ගොඩාක් අහිංසක කෙනෙක් ...” පවන් කියපු දෙයින්නම් මගෙ හිත ටිකක් ගැස්සුනා..කව්රු ගැනද දන්නෑ මේ කියන්නෙ..
“මොකක්....ආ හිතක් වත් පහල වෙලාද ...”
“හිත පහල වෙලානම් ටිකක් දවස්...අහන්න බයයි හලෝ...එයා අකමැති උනොත් එහෙම.....”
“ඇයි අකමැති වෙන්නේ
“කියන්න බෑනේ ඉතින්..එයා වෙන කාට හරි කැමතිද දන්නේ නෑනේ ....”
“ඒ කියන්නෙ එයාට කොල්ලෙක් නෑ ”
“නෑ නේන්නම්....”
“කව්ද හලෝ කෙනා කියනවකො ”
“බෑ බෑ ඒක දැන්ම කියන්න බෑ....”
“මං දන්න කෙනෙක්ද..අපේ batch එකේද ...කියනවකො වදේ ”
“ඒවා දැන්ම කියන්න බෑ ඉතින් ..මං ඔයාට ඉතින් අනිවා කියන්නම්..ඔයා ඉතින් මගෙ බුදු ෆිට් එකනෙ මෝඩි ”
“අනේ තියා ගන්නවා මහ ලොකු කෙල්ල ”
ඇත්තටම පවන්ගේ මේ කතාව අහපු වෙලේ ඉදන් මං කල්පනා කලේ ඒ ගැනමයි..එයා කව්රු ගැනද මේ කියන්නෙ...මගෙ හිතට ටිකක් විතර අවුල් එක්ක...ඒ එක්කම පොඩි බලාපොරොත්තුවක චායවකුත් මගෙ හිතේ පැත්තකින් මතු වේගන ආවා...එයා මං ගැනද දන්නෙ නෑ මේ කියන්නෙ..එයා කියන සමහර දේවල් මටත් ගැලපෙනවා...ඒ උනාට......කෝකටත් කියලා එයා ගැන තව විස්තර අහලා දැන ගන්න ඕනා...
පවන් හම්බ වෙන හැම වෙලාවකම මං try කලේ පවන්ගේ හිත ගිය කෙනා ගැන දැන ගන්නමයි..ඒත් පවන් වටෙන් වටෙන් කීවාට හරියට ඒ කෙනා ගැන කිවේ නෑ....
“මොනාද හලෝ අදවත් කියනවකො අර කෙනා ගැන...”
“එයා ගොඩාක් අහිංසක මෝඩ කෙල්ලෙක්...ගොඩාක් ලස්සන නෑ..ඒ උනාට cute..ආදරෙ හිතෙනවා හුගක්...හරි ආඩම්බරයි එයා...වැඩිය කොල්ලො එක්ක කතා නෑ..එක්කෙනෙක් දෙන්නෙක් එක්ක විතරයි කතා කරන්නෙ...”
“නම කියනවකො අනේ ”
“නම කියන්න බෑ දැන්ම..මං වෙලාව ආවම කියන්නම්කො ”
“ඔන්නෑ ඔයා...”කෙල්ල ගැන අගේ කරනවා මිසක් මට කියන්නෙත් නෑ එයා..හිතට පොඩි දුකකුත් ආවා...එයා මේ කියන්නෙ මං ගැනම වෙන්න ඕන..එකනෙ මෙච්චර අගේ කරන්නෙ...මගේ හිත මට කියන්න ගත්තා..ඇත්තටම මේ වෙනකොට පවන් ගැන මගෙ හිතේ ආදරයක් තියෙනවා කියලා මටම දැනිලා තිබුනා..ඒත් එයාම කියනකන් මං සද්ද නැතුව හිටියා..
“අනේ අදවත් කියනවකො මැට්ටෝ ”හැමදාම වගෙ එදත් මං පවන් ගෙන් ඇහුවෙ එයාගෙ කටින්ම අහ ගන්න.
“හ්ම්ම්ම්ම්ම්..දැන ගන්නම ඕනද.....”
“ඕන නිසා තමා අහන්නේ...”
“ඔයා හිතන්නෙ වත් නැති කෙනෙක් ”
“අනේ අගේ නොකර කියනවකො ...”
“හරි හරි කියන්නම් ”
පවන්ගෙ කටින්ම එයා මට කැමතියි කියන එක අහ ගන්න මට තිබුනෙ පුදුම හදිස්සියක්...මං ගොඩාක් ආසාවෙන් පවන් දිහා බලන් හිටියෙ.
“ඔයා ගොඩක්ම හොදට දන්න කෙනෙක් ”
“ඉතින් කියනවකෝ .......”
“සිතාරි ”
මගේ මුළු හිතම එක තැනක නතර උනා වගෙ මට දැනුනා..ඒත් වෙනසක් නැතුවම ඉස්සෙල්ලා වගේම පවන් දිහා බලාගෙන හිටියා මම...මං නුබට ආදරය කල තරම්....නුබට නොදැනුන හැටි එය.....

මේ කෙටිකතාව ලබාදුන් චේතනා සොයුරියට අපගේ ප්‍රණාමය මෙන්ම මෙහි අයිතිය ඇය සතුවේ . උපුටා ගැනීම සපුරා තහනම් වේ .ස්තුතියි.

තවත් හිතට දැනෙන  කෙටිකතා කියවන්න ආසයි නම්  http://cyberpanhinda.com/ ගොඩවන්න

High heels - සංඝමිත්තාවේ සැරිසරන්නිය




High heels - සංඝමිත්තාවේ සැරිසරන්නිය

ආදරවන්තයන්ගේ පටුමග දිගේ පිපුණු ක්‍රිසැන්තිමම් මල්වල සුවඳ තවමත්.....මහවැලියේ නිසල ජල තලය මතින්, හඳ පෑයූ දවසට හමනවා ඇති - අකාලයේ මළ ආදරවන්තයන්ගේ, නොමළ ආදරය කොඳුරමින්.
මේ.........පේරාදෙණියේ තවත් එක් කතාවක්......
නෑ............මම ලැහැස්තිවෙන්නේ 'හිල්ඩා ඔබේසේකර' නේවාසිකාගාරයේ සැරිසරන සුප්‍රසිද්ධ හිල්ඩා කුමාරි ගැන කියන්නවත්, 'අක්බාර්' එකේ ජනෙල් පඩි උඩ නැගලා ඉන්න මිටි මනුස්සයා ගැන කියන්නවත්, 'මාර්කස් ප්‍රනාන්දු' එකට යනපාරේ රෑ යාමයට පෙනෙන විකාර ගැන කියන්නවත් නෙමෙයි.මේක වෙනස් කතාවක්.

සම්පුර්ණ කතාව කියවන්න ගොඩවන්න http://cyberpanhinda.com/කෙටිකතා/high-heels-සංඝමිත්තාවේ-සැරිසරන්න/

මේ සා විසල් අහසක් යට -07 කොටස






 
07
කතික තරගය සමග නිකිණි හමුවූ මතකය ද දිනෙන් දින දුරස් වන අතීතයක් විය. දේවිය ඉදිරිපස රෝයලිස්ට් ලා ගෙන් ඇති පමණ ගුටි කෑමට තිබූ අවස්ථාව නිකිණි ගේ සංගීත ගුරුවරියට පිං සිදු වන්නට මග හැරුණි. සිදුසර ප්‍රතාපසිංහත් සහචර රෝයලිස්ට් ලා ත් හදිසියෙන්ම එතනට පැමිණි මියුසික් මිස් ගේ මෝටර් රියට අප නගින දෙස බලා උන්නේ රවමිනි. ඒ බැල්ම තුල වූයේ මේ ගෙන්දගම් පොළොව යට අපි ආයෙත් කොහේ දී හෝ හමුවන බව නොවන්නේ ද? මම වීදුරුව බිදුනු ජනේලයෙන් සේනානායක මාවත දෙස බලා මේ සියල්ල සිහිපත් කරමි. නිකිණි ගේ මතකය ගෙවුනු රැය කිහිපයේම තදින් දැනුනි. එහෙත් ඒ ප්‍රේමයම දැයි කියා මා තවමත් පිළිතුරු සොයමින් උන්නෙමි.

“මොකද බං ??? මේ පෝය දවසෙවත් නිදා ගනින්කෝ... ඉර පස්සට තට්ටු කරනකල්”

ජනා ඇදේ සිටම කම්මැලි කඩයි. මම කල්පනාවට නැවතුමක් තබමි. ඇය ගැනත් ආදරය ගැනත් තනිව හිතන්නට යන හැමවිටම කුමක් හෝ කරුණක් නිසා තැබූ නැවතුම් තිත් ප්‍රමාණය වැඩිය.

''නැගිටපන් යකෝ... ඉර නෙවෙයි ඔහොම ගියොත් හදත් උඹෙ පස්සට තට්ටු කරයි”

මම අවුත් ඇදේ ඉදගන්නා ගමන් ජනා ගේ පෙරවනයෙන් ඇද්දෙමි. ‘මලා’ මේකා ගේ සරම ද ඇත්තේ වෙන අතක ය. බිත්තියේ උන් ආලියා බාත් දකීදෝ බියෙන් ජනා හනික සරම ගැට ගසා ගත්තේ ද මට බැණ වදිමින් ඇදෙන් බිමට පැන්නේ ද එක්වරම ය.

ජීවිතය සැබැවින්ම කොතරම් නම් පුදුමසහගත ද? කුරුණෑගල මලියදේවයට ගිය කාලයේ විදි ජීවිතයත් අද කොළඹ අහස යට විදින ජීවිතේ ද විශාල වෙනසකි. අම්මා අහිමි වුන... තාත්තා වෙනත් විවාහයක් කරගත්... කුඩම්මා ගේ අකටයුතුකම් හමුවේ පළමු විවාහයේ දරුවාට වන කෙණෙහෙලි කම් ඉවසා බලා සිටින්නට තරම් අසරණ තාත්තා කෙනෙකුන් ගේ ... දරුවා මම වීමි. පහ ශිෂ්යත්වය සමත් වී මලියදේවයට ගිය දා පටන් මා හැදුනේ බෝඩිම් වල ය. ඒ දිනවල සිටම තාත්තා හැකි හැම විටම මට අවැසි දේ කුඩම්මාට හොරෙන් ගෙන දෙන්නට වෙහෙසෙන ආකාරය මට සිහිවෙයි.

''ඒයි තෙනුලයා මොකෝ බන් මේ...”

ජනා ට මගේ වෙනස තේරෙන්නට ඇත. මා බොහෝ විට හඹා එන මතකයන් දොරගුලු දමා වසා හිදින්නට වෙහෙසෙන්නේ පොත පත ට නෙත යොමු කොට ය. මගේ ජිවිතයේ අකුරක් නෑර සියල්ල දත් එකෙක් වේ නම් ඒ ජනා ය.

“නෑ මචං මොකුත් නැහැ...”
මම කුරුණෑගල මතකයත් පුද්ගල චරිතත් කල්පනා ලෝකයෙන් පිට කර හරිමි.

“ඔය කියුවට අපි දන්නවා ...”
ජනා කියන්නට හදන්නේ කට කැඩිච්ච කතාවක් බව මම දැන උනිමි. ඒ උගේ හැටිය. ජනා ගේ මේ සුන්දර මිත්‍රත්වය මා සැබැවින්ම අතීතයෙන් මුදවාගත්තා පමණක් නොව වර්ථමානයේ දී සතුටින් ද තැබුවා ය. එබැවින් හඩු ගද ගසන ජීවිතයට වඩා ආදරෙන් මට මේ මිත්‍රත්වය සුවදවත් ය.

“දේවියේ... ගවුමක් යට හිතක් නැවතිලා...
මා කෙසේ ගැලවෙන්න ද හිතම පොඩිවෙලා”

“අඩෝ උදේ පාන්දර මගුලක් කියන්න එපා යකෝ... කෙල්ලන් ගෙ ගවුම් යට තියෙන්නෙ යට ඇදුම්. යට ඇදුම් අස්සෙ හිත නවතින්නෙ ආදරේට නෙවෙයි බන්.”

“ආ.... ඒකත් එහෙමයි. එහෙනම් අපි මෙහෙම කියමුකෝ.”

“කවදාද ආයෙ එන්නේ දේවියේ ඔයා ඉතින්
දෙනුවන් අයා හිදින්නේ නාවලයි ඔයා නමින්”

මේකා ගේ අඩහැරය නවත්වා ගත නොහැකි ය. කොහොමත් ඌ ඔහොම්මය. වෙලාවට ‍බෝඩිමේ ඇන්ටි ගේ කන් ඇහීම දුර්වලය නැතිනම් අපි දෙන්නා ‍එළියට දාන්නේ ජනා ගේ කතා අසා ය.

“මේ ඇත්තට මම කියන්නෙ තෙනුලයෝ යමු ද අපි අද රවුමක් .. පෝය නිවාඩුවට ලස්සන මල් පන්සල් වතුවල පිපෙනවා”

ජනා ඇද පිලිවෙලට සකසා වෙලාව බලන අතරතුර නව යෝජනාවක් ගෙනෙයි. මගේ හිතද ඒ යෝජනාව පිළි ගන්නට කැමති අයුරකි. ඒ කුමට ද? පන්සල් වතුවල මල් බලන්නට ද? නැතහොත් විශේෂ මලක් දකින්නට ද? ඒ දැකීමේ ආශාවම ආදරය ද? මම නැවතත් ආදර ප්‍රශ්නපත්‍ර යේ ය.

''සමහර විට මේ පිපෙන වන මල්.. පන්සල් මල් අතරේ නිකිණි මලක් පිපිලා තියෙන්නත් පුලුවන් ...”
ජනා ඇසක් ඉගිකරමින් මාව අවුස්සයි.

“ටොක්... ටොක්... ටොක්...”

එක්වරම අපේ බෝඩිම් කාමරයේ දොරට කවුරුන් හෝ තට්ටු කරයි. බෝඩිමේ ආන්ටි විය නොහැක. ඇ‍ගේ තට්ටුව මෙයට වෙනස් ය. ජනා ගේත් මගේත් ඇස් නැවතුනේ දොර අසල ය. මේ පාන්දරම කවුරු විය හැකි ද? මම දොර විවර කරන්නට ඇදෙන් නැගිට්ටෙමි.

''රෝයලිස්ට් ලා සෙට් එකක් හින්දි පිල්ම් එකක වගේ ඇවිත් පාන්දරම කාමරේදිම අපිව මරයි වද්ද?"

ජනා දොර හරින්නට සූදානම් වන මගේ කනට කර මතුරයි. මම මොහොතක් ඌ දෙස බැලුවෙමි. කෙසේ වුවත් මේ මොහොතේ අප දෙදෙනා ගේ ම ඇස් වල වූයේ එකම පැණයකි. ඒ...

“කවුද මේ වෙලාවට..? ”

--------------------------
ලබන සතියට
--------------------------
මේ සා විසල් අහසක් යට
ලියන්නේ
@ ගයාන් අබේසිංහ
 
www. cyberpanhinda.com  අපගේ නිල අඩවිය .
 
 

එක්වෙන්න අප සමගින්..

සයිබර් අවකාශයේ හමුවන මිනිසුන්ට ආදරයෙන් ජීවිතය කියාදෙන සුන්දර නවාතැන්පොල... ජීවිතය කියන්නේ හරි අමුතු ම කලාවක්. හැමෝට ම මේ කලාවේ ජිවත් වෙන්ට පුළුවන්. හැබැයි ඔවුන් මේ කලාව තේරුමක් අර ගන්න විදියට තමයි විශාරද නිපුන් කියන තත්වය ට පත් වෙන්නේ. මේ කලාව අයිති අපිට විතරක් නෙමේ. සතා සිව්පාවටත් මේ අමුතුම කලාව අයිතියි. නමුත්, උසස් කියන මානසිකත්වයෙන් අපි මේ කලාව රහ කරන්නේ කොහොමද, අලුත් විදියට හිතන ගමන් ධාර්මිකව කලාවේ පතුල හොයන්නේ කොහොමද? දාර්ශනිකත්වයෙන් එහාට ගිය ෆැන්ටසියක් අරගෙන අපි සයිබර් අවකාශයේ අලුත් ජිවිතයක් හදන්නයි මේ උත්සාහය. අපි ජිවිත කලාව නැවුම් විදිහකට හොයමු. සයිබර් පන්හිඳත් එක්ක එන්න . මේ පාරෙන් අපි ජිවිතේ අලුත් අරුතක් දකිමු. සයිබර් පන්හිදත් සමගින් එක්වන්න ඔබත්... යොමු කරන්න ඔබේ නිර්මාණ අප වෙත cyberpanhinda@gmail.com වෙත.

cyberpanhinda.com

එක්වෙන්න අප සමගින්..

සයිබර් අවකාශයේ හමුවන මිනිසුන්ට ආදරයෙන් ජීවිතය කියාදෙන සුන්දර නවාතැන්පොල... ජීවිතය කියන්නේ හරි අමුතු ම කලාවක්. හැමෝට ම මේ කලාවේ ජිවත් වෙන්ට පුළුවන්. හැබැයි ඔවුන් මේ කලාව තේරුමක් අර ගන්න විදියට තමයි විශාරද නිපුන් කියන තත්වය ට පත් වෙන්නේ. මේ කලාව අයිති අපිට විතරක් නෙමේ. සතා සිව්පාවටත් මේ අමුතුම කලාව අයිතියි. නමුත්, උසස් කියන මානසිකත්වයෙන් අපි මේ කලාව රහ කරන්නේ කොහොමද, අලුත් විදියට හිතන ගමන් ධාර්මිකව කලාවේ පතුල හොයන්නේ කොහොමද? දාර්ශනිකත්වයෙන් එහාට ගිය ෆැන්ටසියක් අරගෙන අපි සයිබර් අවකාශයේ අලුත් ජිවිතයක් හදන්නයි මේ උත්සාහය. අපි ජිවිත කලාව නැවුම් විදිහකට හොයමු. සයිබර් පන්හිඳත් එක්ක එන්න . මේ පාරෙන් අපි ජිවිතේ අලුත් අරුතක් දකිමු. සයිබර් පන්හිදත් සමගින් එක්වන්න ඔබත්... යොමු කරන්න ඔබේ නිර්මාණ අප වෙත cyberpanhinda@gmail.com වෙත. 
 
 

දුක හිතෙන කතාවක් ...








මේ සා විසල් අහසක් යට අද පල නොවන බැව් දැනුම් දීමෙන් පසු බොහෝ දෙනා එය පලකරන්නැයි කරන ලද ඉල්ලීම ඉවත ලිය නොහැකි තරමට සිත අසරණව ඇත. හදිසි හේතුවක් නිසා තාවකාලිකව නතර කල බැවින් නවකතාව සමග එකතුවී උන් ඔබට අද එය නොමැති අඩුව නොදැනීම උදෙසා පෙර දිනෙක මා ලියන ලද කෙටිකතා එකතුවකින් එකක් අද දිනයේ පල කලෙමු.
---------------------------------------------------------------

“දැහැමි...”

ඇය පිටුපස හැරුණි. මේ හන්තාන අඩවිය යට ඇගේ සුන්දර වත මඩල පුරා සදවතක් යැයි මම නොකියමි. එහෙත් ඇය සතු සීදේවි පෙනුමට මා ප්‍රිය කළෙමි.

“ආ...නිදුක..”

ඇය මා දැක සිනා සේලයක් ගලහ පාරේ බිම හළේය. අතරින් පතර පිපුණ රොබරෝසියා මල් ඒ සිනාවෙන් ලැජ්ජාවූවා වන්නට ඇත. සරසවියේ බොහෝ සිසු සිසුවියන් ඇවිද යන මග දෙස බලා මම සිනාසුනි. ඒ දිනක් ඇය මට කියූ කරුණක් සිහිවය.

“මං ආසයි දවසක පේරාදෙණි කැම්පස් එකට එන්න... මට ලංකාවෙ වෙන කැම්පස් එකක් සෙට් උනත් මම පේරාදෙණි වෛද්‍යය පීඨය ඉල්ලාගන අඩල අඩල හරි එනවා එනවාමයි”

ඇය පේරාදෙණියට අප්‍රමාණව පෙම් කලාය. ඒ මන්දැයි මා කිසිදාක ඇසුවේ නැත. කොහොමටත් ගම්පොල පාරේ අම්බුලළුවාව පේන මානයක ඉපදුනු මට නුවර හුරුපුරුදු ය. ඇය නුවර ආවේ උසස් පෙළ කරන්නට ය. ඇගේ ජීවිතය ගෙවී තිබුනේ කොළඹ නගරයේ කොන්ක්‍රීට් ගොඩනැගිලි අතරේ ය. වෛද්‍යවරයෙක් වූ සිය පියාට මහනුවර රෝහලට පත්වීම ලැබූ පසු අම්මා ද නැති මේ සොදඳුරු දියණිය ඔහු නුවර එද්දී රැ‍ගෙන විත් තිබුණි.

“මොනාද අප්පා මට කතා කරල ඔයා තනියම පාරේ යන වාහන ගනින්න හදනවා.”

ඇය නෝක්කාඩු කියයි... මම සිනාසෙමි. සමහර විට මා මේ ඇය සමග මේ ගල‍හ පාරේ ඇවිද යන අවසන් දිනය අද විය හැකි ය. අද අපේ ටියුෂන් පන්තියේ අවසන් දිනයයි. ඇය සේම මම ද යළිත් උසස් පෙළට පන්ති යන්නේ නැත. රසායනික විද්‍යාව පන්තියෙන් අපේ උසස් පෙළ ටියුෂන් ජීවිතය අවසන් විය

දැහැමි... එක්සෑම් ඉවරවෙලා මොනා ද කරන්නේ.?

ඇය මා දෙස හිස ඇල කොට බලා සිනාසෙයි. ඒ සිනාවට මා පෙම් බදින්නට පටන් ගත්තේ මෙයට දෑ වසරකට පෙර ය. ඒ ඇය උසස් පෙළ ටියුෂන් පන්තියට පැමිණි පළමු දිනයයි. මට ඒ දිනය අද මෙන් මතකය. ඇය උන්නේ අපේ පේළියේ ය. අපි උන්නේ පන්තියේ පළමු පේළියේ ය. ඒ නිසා අප අතර මිතුරු බැඳීම ඇති වන්නට වැඩි දිනයක් නොගියේ ය. දිනෙන් දින ඇය මට ලංවිය. මම ඇයට අප්‍රමාණව පෙම් කරන්නේ මෙලෙස ලංවීම සමග ය.

“මොක ද අයියෝ මේ නිදුක ට වෙලා තියෙන්නේ...”

දැහැමි මගේ සිතුවිලි කන්දරාවට නැවතීමක් තබයි. මම සිනාසෙමින් ඒ නැවතීම මකා දමමි. අප දෙදෙනා ගලහ පාරට සිනාසෙමු. අපේ පන්තිය අවසන් වී අප හැමදාම ගලහ පාරේ පයින් ඇවිද ගියෙමු. ඒ වන විට දැහැමි ගේ පියා පේරාදෙණියේ වෛද්‍ය පීඨයේ දේශකයෙක් වශයෙන් කටයුතු කර බැවින් ඇය පන්ති අවසන් ව හැමදාමත් පියා හමුවන්නට ගියා ය. මම ගම්පල බසයක එල්ලෙන්නේ හැමදාමත් ඇයව සිය පියාට බාරදී ය.

මුකුත් නැහැ දැහැමි...

මම කිසිත් නොකියමි. අවම වශයෙන් වසර දෙකක් තිස්සේ බැදි ප්‍රේමය අදටත් සිත යට හංගාගෙන මම ඉවසා සියල්ල දරා ගතිමි.

“මුකුත් නැත්තන් කමක් නෑ .... මම ඒත් මේ බැලුවා අද ක්ලාස් එකේ අවසන් දවසෙ අපටත් හොරෙන් හිත කාටවත් දීලා ඇවිත් වත් ද ? කියලා”

මේ හිත දෙන්නට කෙනෙක් නැත. ඒ මන්ද කියා ඇය නොදනියි. ඒ මේ හිත කුලුඳුලේ ම කෙනෙකුට වෙන්කලේ මෙයට වසර දෙකකට පෙර ය. ඒ බැව් ඇය නොදනියි. මේ ගැන මුල පටන් දත් ම‍ගේ මිතුරා දිනුක නිරන්තරවම මට බැණ වදියි.

''කෙල්ලො කියන්නෙ වැල් වගේ බං එතෙන්න ගහක් හම්බවුනාම එතෙනවා. ඊට කලින් මේ ගැන දැහැමිට කියපන්.. නැත්තම් උඹට වෙන්නේ ඒකිව අහිමි කර ගන්න..''

නැත. දිනුක ගේ මේ කිසිදු අවවාදයක් මා කනකට ගත්තේ නැත. මට එයට හේතුවක් තිබුණි. දැහැමි යනු පන්තියේ උන් දක්ෂම සිසුවියයි. ඇය ගේ හීනය ශෛල්‍ය වෛද්‍යවරියක් වීම ය. ඒ සදහා ඇය අප්‍රමාණ කැපවීමෙන් පාඩම් වැඩවල නිරත විය. මට අවැසි වූයේ ඇයට ඇගේ ගමන නිදහසේ යන්නට දෙන්නට ය. එබැවින් මා සිතා උන්නේ උසස් පෙළ විභාගයෙන් පසු මගේ ප්‍රේමය ප්‍රකාශ කරන්නට ය.

ඒ මා මේ දෑ වසර පුරාවට ම සිතූ අයුරු ය. එසේ සිතා ඇය පිළිබදව වූ ප්‍රේමය මා වසං කලෙමි. එහෙත් මේ දෑ වසරේ ඇයට උන් හොදම මිතුරා මා විය. ඇය ගේ බොහෝමයක් ඕනෑ එපාකම් සොයා බලා ඒවා ඉෂ්ඨ කර දුන්නේ මා ය. යම් යම් අවස්ථාවල ඇය ට මගේ උදවු නොමැතිව කිසිදු දෙයක් කර ගත නොහැකි විය. ඇගේ පියා බුද්ධිමත් අයෙක් බැවින් අපේ මිත්‍රත්වය ඔහු මනාව තේරුම් ගන තිබුණි. එබැවින් දැහැමි ගේ හා මගේ මිතුදම තව තවත් තදින් බැදුණි. මගේ ප්‍රේමය ද රහසේම මේ තරම් දුරක් විහිදුනේ ද ඒ සමග ය.

“අයියෝ...”

පේරාදෙණිය අහස නිතර වාගේ හඩයි. යළිත් ඒ අහස හඩයි. දැහැමි ගේ ලා නිල් බ්ලවුසය තද නිල් පැහැයට හරවමින් පිනි පොකුරු ඇද හැලෙන්නට විය. ඇය හනික ඇගේ පුංචි මල් කුඩය වැසි තුවානට විරැද්ධව එසවිය.

“මෙහෙ එනෝ ...”

දැහැමි මගේ අතින් ඇද මා ඇගේ කුඩය යටට ගනියි. සරසවි පාරේ දැන් පොදයකි. මම ඒ පොදය යටින් ඇදෙන සරසවි මානවක මානවිකාවන් දෙස බලා හිදිමි. ලබන සතියේ පැවැත්වෙන උසස් පෙළ විභාගයෙන් පසු දිනෙක අප ට ද මේ සරසවි මානවක මානවිකාවන් අතර සැරිසරන්නට හැකිවනු ඇත. එසද ඇය මා වම්පස හිදිනු ඇත. මම සිතුවෙමි.

''නිදුක... ඔයා අද වෙනස් ..”
පොද වැස්ස යට ඇගේ හඩ අවදිවෙයි

“නෑ දැහැමි ... එහෙම නැහැ. මේ පොඩ්ඩක් ඔලුව රිදෙනවා”
මම ඇයට බොරුවක් කියුවෙමි. ආදරය කරන අයෙකුට බොරුවක් කිවීමෙන් පසු ඇති වේදනාවෙන් ම පසුව පීඩා වින්දෙමි.

''අයියෝ ඇයි මට නොකියුවෙ?''
ඇය කලබල ය.

''නැහැ දැහැමි ඒ තරම් අමාරුවක් නැහැ. ''

“ඉන්න අපි ත්‍රීවිල් එකක යමු. ‍කොහොමටත් මට යාලුවෙක් මීට් වෙන්න යන්න ඕන”
මා ඇය වලකන්නටත් පෙර ඇය ගලහ හංදියේ ත්‍රීවිල් රථයකට අත වැනීය. මොහොතකින් අප උන්නේ එහි ය. ත්‍රීව්ල් රථයේ අමල් පෙ‍රේරා ගේ ගීයක් වාදනය වෙයි.

“මල්හීන හිත බැන් ද කිරි කෝඩු කාලේ
එක හීනයක් ගාව මම නැවතිලා
තරුවාගෙ දිලිහෙච්ච පොඩි ඇස් ඔයා ගේ
බැහැ දැන් කියා ගන්න හිත ගොලුවෙලා
දැන ගත්ත දා ඈත වෙන්වී ගියෝතින්
හැමදාම දුක් වෙන්න මා මෙහි තියා
නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන්
මිතුදම් හොදයි අහිමි වෙනවට වඩා...”

හිත ගැස්සුනි. නැත ගීතය ගීතයක්ම පමණකියි කියා මම සිත සවිමත් කර ගතිමි. අවසන ඇය මිතුරා හමුවන්නට පොරොන්දු වූ තැනට පැමිනියෙමි. වැස්ස තුරල් කොට තිබුණි. අප උන්නේ ගම්පොල පාරේ ය. සැදෑහිරු අහස වසා තැඹිලි පැහැය හලමින් බැස යයි. ඈතින් අම්බුළුවාව කන්ද බලා හිදියි. පාර අයිනේ නවතා තිබුනේ නවතම වර්ගයේ හයිබ්‍රිඩ් රථයකි. එහි උන් තරුණයා උන්නේ පිළිවෙලට සැකසූ ඇදුමකින් සැරසී ය. ඔහු අප දැක සිනාසී රථයෙන් බැස ආවේත් දැහැමි ගොස් උනුසුම් හාදුවකින් ඔහුට සංග්‍රහ කලේත් එක්වරම ය. මම පසෙකට වීමි. හිත ගැස්සුනි. එහෙත් මම ආයාසයෙන් එය දරා ගතිමි.ඒ මිතුරෙකු විය හැකි ය. මම එසේ සිතුවෙමි.

''මම ඔයාට කියුවෙ රන්දුල ... මේ තමයි මගේ හොදම හොදම හොදම යාලුවා... ධර්මරාජෙ ඒ ලෙවල් සයන්ස් එකේ පට්ටම මීටරේ.. නිදුක පැහැදුල් සමරනායක''

ඇය මා හදුන්වා දුන්නේ එසේ ය. ඔහු මට අත පෑවේ ය. මම අපහසුවෙන් ඒ අත අල්වා සෙලවීමි.

''නිදුක මේ තමයි. රන්දුල වික්‍රමනායක. කරාපිටිය මෙඩිකල් පැකල්ටියෙන් පහුගිය මාසෙ අවුට් උන දොස්තර මහත්තයෙක්.. ''

සැනසුම් සුසුමක් ගලා ගියේය. ඔහු මිතුරෙකු විය හැකි ය. දැහැමි යලිත් තෙපලයි.

''තව.....කියනවා නම්... මාස හයක් තිස්සෙ මගේ පස්සෙන් ඇවිත් වද දිදී කෝල් කර කර ඉදලා අවසානෙට ඊයේ රෑ මගේ සම්පූර්ණ අයිතිය අරගත්ත මගේ ආදරණීය ප්‍රේමවන්තයා.”

ඇය ඔහුට තුරුල් විය. සැනසුම් සුසුම මියැදුනි.

මම සිනාසුනිමි. මටම පුදුමය. එහෙත් මම සිනාසුනිමි. මම ඔවුන්ට සුභ පැතීමි. වෙනසක් නොපෙන්වා ම ගම්පොල පාර දිගේ අවසන් රැස් දහරත් ගලා යන රාස්සිගේ එළිය යට ඇවිද ගියෙමි. එහෙත් මා ගිය මග සේම මින් පසු යන මග පුරාවට ද සීතල කදුලක් නම් ඇදී එනු ඇත..
------------------------------------
ලියුවේ.

@ ගයාන් අබේසිංහ
 
 
 එමෙන්ම ඔබේ අදහසක් මේ කෙටිකතා වෙනුවෙන් තබා යනවා නම් එය නිර්මාණ කරැට ලොකු සවියක් ස්තුතියි.

මයාවී 06 වන කොටස

 


ගිය සතියේ අපට මයාවී 06 වන කොටස ලබා දෙන්න බැරිවීමට අපගේ කණගාටුව . නමුත් අද දින එම කොටස ලබාදීමට කටයුතු කරනවා . එමෙන්ම ඔබේ අදහසක් මේ නවකතා වෙනුවෙන් තබා යනවා නම් එය නිර්මාණ කරැට ලොකු සවියක් ස්තුතියි.

පොලා මොකක්ද නොකියපු දේ කියල මනෝ ගගහම ටක් ගාල වොෂක් දාගෙන මන් හෙමින් සැරේ එළියට යන්න එනකොට තාත්තයි ටකරමයි වාද විවාද අහවර වෙලා තෑගී ප්‍රදානයත් ඉවර වෙච්ච තරඟ කාරයෝ දෙන්නෙක් වගේ සාලේ ඉඳගෙන ඉන්නවා.


"කොහෙද මේ යන්න හදන්නේ" තාත්ත ඇහුවා.



"මේ ගෙදර හිටියොත් ඔයාට හෙට අනිද්දා මාව අංගොඩ පටවන්න වෙන්නේ. ඒ නිසා මං ටිකක් එළියට යනවා..."



"උඹට කෙසේ වෙතත් උඹ නිසා මං පිස්සෙක් වෙනවා සිකුරුයි ආයි..." තාත්ත කෑ ගහද්දීම මං එළියට පැන ගත්ත.



පොලා ඉන්නවා ඇළ අයිනේ ඉඳගෙන...



"මචී දිඩි දිඩි ගාල යමන් පොලිසියට" මාව දැකපු පොලා නැගිට්ටේ විදුලිය වගේ.



"ඇයි බං? මොකාද පොලිසියේ ඉන්නේ?"



"තොගේ මහගේ ඉන්නේ... අන්න නවියව ඊයේ රෑ රෝඩ් එකේදී අල්ලලා"



"හුටා.." මං නළලේ අත ගහ ගත්ත.. මේ මොන හුයන්නක්ද මේ උනේ.. ඔක්කොම ඉලවු අස්සේ ලවු කරන්න ගිහින් මට වෙච්චි දෙයක්...



"දැන් මොකද බං මේකට කරන්නේ?" මං දත කට පූට්ටු වෙලා වගේ මගේ දිහා බලන් හිටපු පොලාගෙන් ඇහුවේ කරන්න ඕන දේ මටත් තේරුනේ නැති නිසා...



"අද සෙනසුරාදනෙ බං. කෝකටත් උසාවියෙන් ඌව අනිවා රිමාන්ඩ් කරයි. ඒත් බං ලෝයර් කෙනෙක් වත් අඩුම කතා කරගන්න එපැයි බං"



"ඈ රෙද්දෝ.. ලෝයර්ලට කොහෙන්ද බං අපි ළඟ දෙන්න සල්ලි? මගේ ලඟත් එකසිය පනහකට වඩා අතේ නෑ මං හිතන්නේ.."



"මං සීන් එක කියල ලොකූගෙන් රුපියල් දාහක් ඉල්ලන් ආවා. කඩේ සුනිල් අයියත් කිව්වේ ලෝයට පන්සීයක් විතර ගනී කියල. සෙනසුරාදා නිසා උසාවි දාද්දීත් දොළහ පනීලු. පොලිසියට ගිහින් ඌව බලල තේ එකක් වත් දෙමු බං. ඊයේ රෑ ඉඳන් මුකුත් කාලත් නැතුව ඇතිනේ.."



"හ්ම්... යමන් එහෙනම්"



අපි දෙන්න බාගෙට දුව දුව පොලිසියට පයින්ම ගියා.



"කවද කාපු කටුද බං මේ.. ජීවිතෙට පොලිසියට පය ගහල නෑ" මං පොලාට කිව්වේ හිතේ අමාරුවටමයි.



"මචී මං උඹට එකක් කියන්නම්. හිතල එක තීරණයක් නොගත්තොත් උඹට ජීවිත කාලෙම පොලිසී ගානෙයි හිර ගෙට විසිට් දදයි තමා ඉන්න වෙන්නේ.. උඹ මෙතන හිටපන් මං ටිකක් ඔලුව දාල බලල එන්නම්..."



පොලා පොලිසිය ඇතුලට යද්දී මං එළියේ තැනක නැවතුනා..ඇත්තටම මොකක්ද මේ ජිවිතේ.. කුඩ්ඩෙක්ට ආදරේ කරලා ඇත්තටම තාත්ත කිව්වා වගේ හොඳක් නම් වෙන්නෙ නෑ.. දැන්වත් තීරණයක් ගනින් මායා... තීරණයක් ගනින්... මගේ යටි හිත කෙඳිරි ගානවා..



ඒත් මේ වෙලාවේ මොනා හරි කරලා නවීන්ව එළියට ගන්න එක මගේ යුතුකමක්...



පොලා එලියට බැහැල මට අඬ ගැහුවා. මොන රස්තියාදු ගහල මොන ජඩ වැඩේ කලත් ජීවිතේට පොලිසියට පය නොතියපු මං ඇතුලට ගියා නෙවේ කකුල් දෙක විහින් යැවුණ කීවොත් හරි.



"වරෙන්.. නවිය තාම කූඩුවේ... බලන්න දෙනවා."



පොලා හෙමින් සැරේ පොලිස්කාරයෙක්ට කිට්ටු වෙලා කතා කළා. අපිට කූඩුව ලඟට යන්න අවසර ලැබුන. යකඩ දොර ඇරපු පොලිස්කාරය මගේ දිහා ඇස් ලොඳ එලියට පනින ගානට බැලුවේ. චික් විතරක්.. හැලපයගේ කටේ සෙවල බේරෙනව..



අපි යනකොට නවීන් එයාව දාල තිබුණු කූඩුවේ යකඩ පොලු අත් දෙකින්ම අල්ලගෙන හරිම අමාරුවෙන් හිටියේ.. මාව දැකපු ගමන් බිම බලාගත්ත.. මට නම් දත් මිටි කැවුන.



"මේ මායා පැනපු ගමන් උගේ බෙල්ල විකන්න පටන් ගන්න එපා. ඌ කූඩුවේ ඉන්න එකානේ" මගේ දත් මිටි කැවිල්ල දැකපු හැටියේ පොලා මගේ කණට කෙඳිරුව.



"මොනාද බං මේ කරගත්තේ? තොට කොච්චර නම් කියනවද? ඔය මලජරාව නවත්තපන්කෝ.."



පොලා නවීන්ගේ එක අතක් අල්ලන් හෙමිහිට කිව්වා.



"දෝදු කියවන්න එපා බං.. බඩු නැතුව ඊයේ රෑ ඉඳලම මාරම අමාරුවේ ඉන්නේ.. බඩ යනවා අම්බානක... මේ මඟුල අස්සේ බීඩියක් වත් ගහන්න බෑ බං.."



මට ඇත්තටම පැනපු මළේ හැටියට නවීන්ගේ කණ පුරෝලා එකක් දෙන සයිස් එකට...



"උඹටත් ලැජ්ජ නෑනේ පොලා... කට විකුනන්නේ නැතුව ඉඳපන්... මෙයාට කියන කට හොඳයි කක්කුස්සි වලක උලා ගන්නවා" මං පොලාට රැවුවා.



"යකෝ තොපි දෙන්නම ඒ පාර මාව කන්න හදන්න එපා. නවිය උඹට බොන්න මොනා හරි ගෙනත් දෙන්නද?" පොලා ඇහුව.



"බෑ බං.. මුන් තව ටිකකින් අපිව උසාවි ගෙනියනවලු. පුළුවන් නම් ලෝය කෙනෙක් අල්ලපන් ෆ්‍රෙඩා... පිං සිද්ද වෙයි"



"ඔව් ඇයි තමුසේ හම්බ කරලා අපිට ගෙනත් දීපුවා තියෙනවනේ අරන් තියල..." මට කියවුනා.



"මචී මෙතන පිස්සු කියවන්න පටන් ගන්න එපා.. නවිය අපි උසාවියට එනවා. බලමුකෝ" කියපු පොලා මාවත් ඇදගෙනම හැරුන. මං නවීන්ගේ මූනවත් නොබලාම එන්න ආවා...

උපුටා ගැනීම තහනම් කර්තෘ අයිතිය සුරකින්න.

එමෙන්ම ඔබේ අදහසක් මේ නවකතා වෙනුවෙන් තබා යනවා නම් එය නිර්මාණ කරැට ලොකු සවියක් ස්තුතියි.
Your left Slidebar content. -->