මයාවී 06 වන කොටස

 


ගිය සතියේ අපට මයාවී 06 වන කොටස ලබා දෙන්න බැරිවීමට අපගේ කණගාටුව . නමුත් අද දින එම කොටස ලබාදීමට කටයුතු කරනවා . එමෙන්ම ඔබේ අදහසක් මේ නවකතා වෙනුවෙන් තබා යනවා නම් එය නිර්මාණ කරැට ලොකු සවියක් ස්තුතියි.

පොලා මොකක්ද නොකියපු දේ කියල මනෝ ගගහම ටක් ගාල වොෂක් දාගෙන මන් හෙමින් සැරේ එළියට යන්න එනකොට තාත්තයි ටකරමයි වාද විවාද අහවර වෙලා තෑගී ප්‍රදානයත් ඉවර වෙච්ච තරඟ කාරයෝ දෙන්නෙක් වගේ සාලේ ඉඳගෙන ඉන්නවා.


"කොහෙද මේ යන්න හදන්නේ" තාත්ත ඇහුවා.



"මේ ගෙදර හිටියොත් ඔයාට හෙට අනිද්දා මාව අංගොඩ පටවන්න වෙන්නේ. ඒ නිසා මං ටිකක් එළියට යනවා..."



"උඹට කෙසේ වෙතත් උඹ නිසා මං පිස්සෙක් වෙනවා සිකුරුයි ආයි..." තාත්ත කෑ ගහද්දීම මං එළියට පැන ගත්ත.



පොලා ඉන්නවා ඇළ අයිනේ ඉඳගෙන...



"මචී දිඩි දිඩි ගාල යමන් පොලිසියට" මාව දැකපු පොලා නැගිට්ටේ විදුලිය වගේ.



"ඇයි බං? මොකාද පොලිසියේ ඉන්නේ?"



"තොගේ මහගේ ඉන්නේ... අන්න නවියව ඊයේ රෑ රෝඩ් එකේදී අල්ලලා"



"හුටා.." මං නළලේ අත ගහ ගත්ත.. මේ මොන හුයන්නක්ද මේ උනේ.. ඔක්කොම ඉලවු අස්සේ ලවු කරන්න ගිහින් මට වෙච්චි දෙයක්...



"දැන් මොකද බං මේකට කරන්නේ?" මං දත කට පූට්ටු වෙලා වගේ මගේ දිහා බලන් හිටපු පොලාගෙන් ඇහුවේ කරන්න ඕන දේ මටත් තේරුනේ නැති නිසා...



"අද සෙනසුරාදනෙ බං. කෝකටත් උසාවියෙන් ඌව අනිවා රිමාන්ඩ් කරයි. ඒත් බං ලෝයර් කෙනෙක් වත් අඩුම කතා කරගන්න එපැයි බං"



"ඈ රෙද්දෝ.. ලෝයර්ලට කොහෙන්ද බං අපි ළඟ දෙන්න සල්ලි? මගේ ලඟත් එකසිය පනහකට වඩා අතේ නෑ මං හිතන්නේ.."



"මං සීන් එක කියල ලොකූගෙන් රුපියල් දාහක් ඉල්ලන් ආවා. කඩේ සුනිල් අයියත් කිව්වේ ලෝයට පන්සීයක් විතර ගනී කියල. සෙනසුරාදා නිසා උසාවි දාද්දීත් දොළහ පනීලු. පොලිසියට ගිහින් ඌව බලල තේ එකක් වත් දෙමු බං. ඊයේ රෑ ඉඳන් මුකුත් කාලත් නැතුව ඇතිනේ.."



"හ්ම්... යමන් එහෙනම්"



අපි දෙන්න බාගෙට දුව දුව පොලිසියට පයින්ම ගියා.



"කවද කාපු කටුද බං මේ.. ජීවිතෙට පොලිසියට පය ගහල නෑ" මං පොලාට කිව්වේ හිතේ අමාරුවටමයි.



"මචී මං උඹට එකක් කියන්නම්. හිතල එක තීරණයක් නොගත්තොත් උඹට ජීවිත කාලෙම පොලිසී ගානෙයි හිර ගෙට විසිට් දදයි තමා ඉන්න වෙන්නේ.. උඹ මෙතන හිටපන් මං ටිකක් ඔලුව දාල බලල එන්නම්..."



පොලා පොලිසිය ඇතුලට යද්දී මං එළියේ තැනක නැවතුනා..ඇත්තටම මොකක්ද මේ ජිවිතේ.. කුඩ්ඩෙක්ට ආදරේ කරලා ඇත්තටම තාත්ත කිව්වා වගේ හොඳක් නම් වෙන්නෙ නෑ.. දැන්වත් තීරණයක් ගනින් මායා... තීරණයක් ගනින්... මගේ යටි හිත කෙඳිරි ගානවා..



ඒත් මේ වෙලාවේ මොනා හරි කරලා නවීන්ව එළියට ගන්න එක මගේ යුතුකමක්...



පොලා එලියට බැහැල මට අඬ ගැහුවා. මොන රස්තියාදු ගහල මොන ජඩ වැඩේ කලත් ජීවිතේට පොලිසියට පය නොතියපු මං ඇතුලට ගියා නෙවේ කකුල් දෙක විහින් යැවුණ කීවොත් හරි.



"වරෙන්.. නවිය තාම කූඩුවේ... බලන්න දෙනවා."



පොලා හෙමින් සැරේ පොලිස්කාරයෙක්ට කිට්ටු වෙලා කතා කළා. අපිට කූඩුව ලඟට යන්න අවසර ලැබුන. යකඩ දොර ඇරපු පොලිස්කාරය මගේ දිහා ඇස් ලොඳ එලියට පනින ගානට බැලුවේ. චික් විතරක්.. හැලපයගේ කටේ සෙවල බේරෙනව..



අපි යනකොට නවීන් එයාව දාල තිබුණු කූඩුවේ යකඩ පොලු අත් දෙකින්ම අල්ලගෙන හරිම අමාරුවෙන් හිටියේ.. මාව දැකපු ගමන් බිම බලාගත්ත.. මට නම් දත් මිටි කැවුන.



"මේ මායා පැනපු ගමන් උගේ බෙල්ල විකන්න පටන් ගන්න එපා. ඌ කූඩුවේ ඉන්න එකානේ" මගේ දත් මිටි කැවිල්ල දැකපු හැටියේ පොලා මගේ කණට කෙඳිරුව.



"මොනාද බං මේ කරගත්තේ? තොට කොච්චර නම් කියනවද? ඔය මලජරාව නවත්තපන්කෝ.."



පොලා නවීන්ගේ එක අතක් අල්ලන් හෙමිහිට කිව්වා.



"දෝදු කියවන්න එපා බං.. බඩු නැතුව ඊයේ රෑ ඉඳලම මාරම අමාරුවේ ඉන්නේ.. බඩ යනවා අම්බානක... මේ මඟුල අස්සේ බීඩියක් වත් ගහන්න බෑ බං.."



මට ඇත්තටම පැනපු මළේ හැටියට නවීන්ගේ කණ පුරෝලා එකක් දෙන සයිස් එකට...



"උඹටත් ලැජ්ජ නෑනේ පොලා... කට විකුනන්නේ නැතුව ඉඳපන්... මෙයාට කියන කට හොඳයි කක්කුස්සි වලක උලා ගන්නවා" මං පොලාට රැවුවා.



"යකෝ තොපි දෙන්නම ඒ පාර මාව කන්න හදන්න එපා. නවිය උඹට බොන්න මොනා හරි ගෙනත් දෙන්නද?" පොලා ඇහුව.



"බෑ බං.. මුන් තව ටිකකින් අපිව උසාවි ගෙනියනවලු. පුළුවන් නම් ලෝය කෙනෙක් අල්ලපන් ෆ්‍රෙඩා... පිං සිද්ද වෙයි"



"ඔව් ඇයි තමුසේ හම්බ කරලා අපිට ගෙනත් දීපුවා තියෙනවනේ අරන් තියල..." මට කියවුනා.



"මචී මෙතන පිස්සු කියවන්න පටන් ගන්න එපා.. නවිය අපි උසාවියට එනවා. බලමුකෝ" කියපු පොලා මාවත් ඇදගෙනම හැරුන. මං නවීන්ගේ මූනවත් නොබලාම එන්න ආවා...

උපුටා ගැනීම තහනම් කර්තෘ අයිතිය සුරකින්න.

එමෙන්ම ඔබේ අදහසක් මේ නවකතා වෙනුවෙන් තබා යනවා නම් එය නිර්මාණ කරැට ලොකු සවියක් ස්තුතියි.

Comments