මේ සා විසල් අහසක් යට -07 කොටස






 
07
කතික තරගය සමග නිකිණි හමුවූ මතකය ද දිනෙන් දින දුරස් වන අතීතයක් විය. දේවිය ඉදිරිපස රෝයලිස්ට් ලා ගෙන් ඇති පමණ ගුටි කෑමට තිබූ අවස්ථාව නිකිණි ගේ සංගීත ගුරුවරියට පිං සිදු වන්නට මග හැරුණි. සිදුසර ප්‍රතාපසිංහත් සහචර රෝයලිස්ට් ලා ත් හදිසියෙන්ම එතනට පැමිණි මියුසික් මිස් ගේ මෝටර් රියට අප නගින දෙස බලා උන්නේ රවමිනි. ඒ බැල්ම තුල වූයේ මේ ගෙන්දගම් පොළොව යට අපි ආයෙත් කොහේ දී හෝ හමුවන බව නොවන්නේ ද? මම වීදුරුව බිදුනු ජනේලයෙන් සේනානායක මාවත දෙස බලා මේ සියල්ල සිහිපත් කරමි. නිකිණි ගේ මතකය ගෙවුනු රැය කිහිපයේම තදින් දැනුනි. එහෙත් ඒ ප්‍රේමයම දැයි කියා මා තවමත් පිළිතුරු සොයමින් උන්නෙමි.

“මොකද බං ??? මේ පෝය දවසෙවත් නිදා ගනින්කෝ... ඉර පස්සට තට්ටු කරනකල්”

ජනා ඇදේ සිටම කම්මැලි කඩයි. මම කල්පනාවට නැවතුමක් තබමි. ඇය ගැනත් ආදරය ගැනත් තනිව හිතන්නට යන හැමවිටම කුමක් හෝ කරුණක් නිසා තැබූ නැවතුම් තිත් ප්‍රමාණය වැඩිය.

''නැගිටපන් යකෝ... ඉර නෙවෙයි ඔහොම ගියොත් හදත් උඹෙ පස්සට තට්ටු කරයි”

මම අවුත් ඇදේ ඉදගන්නා ගමන් ජනා ගේ පෙරවනයෙන් ඇද්දෙමි. ‘මලා’ මේකා ගේ සරම ද ඇත්තේ වෙන අතක ය. බිත්තියේ උන් ආලියා බාත් දකීදෝ බියෙන් ජනා හනික සරම ගැට ගසා ගත්තේ ද මට බැණ වදිමින් ඇදෙන් බිමට පැන්නේ ද එක්වරම ය.

ජීවිතය සැබැවින්ම කොතරම් නම් පුදුමසහගත ද? කුරුණෑගල මලියදේවයට ගිය කාලයේ විදි ජීවිතයත් අද කොළඹ අහස යට විදින ජීවිතේ ද විශාල වෙනසකි. අම්මා අහිමි වුන... තාත්තා වෙනත් විවාහයක් කරගත්... කුඩම්මා ගේ අකටයුතුකම් හමුවේ පළමු විවාහයේ දරුවාට වන කෙණෙහෙලි කම් ඉවසා බලා සිටින්නට තරම් අසරණ තාත්තා කෙනෙකුන් ගේ ... දරුවා මම වීමි. පහ ශිෂ්යත්වය සමත් වී මලියදේවයට ගිය දා පටන් මා හැදුනේ බෝඩිම් වල ය. ඒ දිනවල සිටම තාත්තා හැකි හැම විටම මට අවැසි දේ කුඩම්මාට හොරෙන් ගෙන දෙන්නට වෙහෙසෙන ආකාරය මට සිහිවෙයි.

''ඒයි තෙනුලයා මොකෝ බන් මේ...”

ජනා ට මගේ වෙනස තේරෙන්නට ඇත. මා බොහෝ විට හඹා එන මතකයන් දොරගුලු දමා වසා හිදින්නට වෙහෙසෙන්නේ පොත පත ට නෙත යොමු කොට ය. මගේ ජිවිතයේ අකුරක් නෑර සියල්ල දත් එකෙක් වේ නම් ඒ ජනා ය.

“නෑ මචං මොකුත් නැහැ...”
මම කුරුණෑගල මතකයත් පුද්ගල චරිතත් කල්පනා ලෝකයෙන් පිට කර හරිමි.

“ඔය කියුවට අපි දන්නවා ...”
ජනා කියන්නට හදන්නේ කට කැඩිච්ච කතාවක් බව මම දැන උනිමි. ඒ උගේ හැටිය. ජනා ගේ මේ සුන්දර මිත්‍රත්වය මා සැබැවින්ම අතීතයෙන් මුදවාගත්තා පමණක් නොව වර්ථමානයේ දී සතුටින් ද තැබුවා ය. එබැවින් හඩු ගද ගසන ජීවිතයට වඩා ආදරෙන් මට මේ මිත්‍රත්වය සුවදවත් ය.

“දේවියේ... ගවුමක් යට හිතක් නැවතිලා...
මා කෙසේ ගැලවෙන්න ද හිතම පොඩිවෙලා”

“අඩෝ උදේ පාන්දර මගුලක් කියන්න එපා යකෝ... කෙල්ලන් ගෙ ගවුම් යට තියෙන්නෙ යට ඇදුම්. යට ඇදුම් අස්සෙ හිත නවතින්නෙ ආදරේට නෙවෙයි බන්.”

“ආ.... ඒකත් එහෙමයි. එහෙනම් අපි මෙහෙම කියමුකෝ.”

“කවදාද ආයෙ එන්නේ දේවියේ ඔයා ඉතින්
දෙනුවන් අයා හිදින්නේ නාවලයි ඔයා නමින්”

මේකා ගේ අඩහැරය නවත්වා ගත නොහැකි ය. කොහොමත් ඌ ඔහොම්මය. වෙලාවට ‍බෝඩිමේ ඇන්ටි ගේ කන් ඇහීම දුර්වලය නැතිනම් අපි දෙන්නා ‍එළියට දාන්නේ ජනා ගේ කතා අසා ය.

“මේ ඇත්තට මම කියන්නෙ තෙනුලයෝ යමු ද අපි අද රවුමක් .. පෝය නිවාඩුවට ලස්සන මල් පන්සල් වතුවල පිපෙනවා”

ජනා ඇද පිලිවෙලට සකසා වෙලාව බලන අතරතුර නව යෝජනාවක් ගෙනෙයි. මගේ හිතද ඒ යෝජනාව පිළි ගන්නට කැමති අයුරකි. ඒ කුමට ද? පන්සල් වතුවල මල් බලන්නට ද? නැතහොත් විශේෂ මලක් දකින්නට ද? ඒ දැකීමේ ආශාවම ආදරය ද? මම නැවතත් ආදර ප්‍රශ්නපත්‍ර යේ ය.

''සමහර විට මේ පිපෙන වන මල්.. පන්සල් මල් අතරේ නිකිණි මලක් පිපිලා තියෙන්නත් පුලුවන් ...”
ජනා ඇසක් ඉගිකරමින් මාව අවුස්සයි.

“ටොක්... ටොක්... ටොක්...”

එක්වරම අපේ බෝඩිම් කාමරයේ දොරට කවුරුන් හෝ තට්ටු කරයි. බෝඩිමේ ආන්ටි විය නොහැක. ඇ‍ගේ තට්ටුව මෙයට වෙනස් ය. ජනා ගේත් මගේත් ඇස් නැවතුනේ දොර අසල ය. මේ පාන්දරම කවුරු විය හැකි ද? මම දොර විවර කරන්නට ඇදෙන් නැගිට්ටෙමි.

''රෝයලිස්ට් ලා සෙට් එකක් හින්දි පිල්ම් එකක වගේ ඇවිත් පාන්දරම කාමරේදිම අපිව මරයි වද්ද?"

ජනා දොර හරින්නට සූදානම් වන මගේ කනට කර මතුරයි. මම මොහොතක් ඌ දෙස බැලුවෙමි. කෙසේ වුවත් මේ මොහොතේ අප දෙදෙනා ගේ ම ඇස් වල වූයේ එකම පැණයකි. ඒ...

“කවුද මේ වෙලාවට..? ”

--------------------------
ලබන සතියට
--------------------------
මේ සා විසල් අහසක් යට
ලියන්නේ
@ ගයාන් අබේසිංහ
 
www. cyberpanhinda.com  අපගේ නිල අඩවිය .
 
 

එක්වෙන්න අප සමගින්..

සයිබර් අවකාශයේ හමුවන මිනිසුන්ට ආදරයෙන් ජීවිතය කියාදෙන සුන්දර නවාතැන්පොල... ජීවිතය කියන්නේ හරි අමුතු ම කලාවක්. හැමෝට ම මේ කලාවේ ජිවත් වෙන්ට පුළුවන්. හැබැයි ඔවුන් මේ කලාව තේරුමක් අර ගන්න විදියට තමයි විශාරද නිපුන් කියන තත්වය ට පත් වෙන්නේ. මේ කලාව අයිති අපිට විතරක් නෙමේ. සතා සිව්පාවටත් මේ අමුතුම කලාව අයිතියි. නමුත්, උසස් කියන මානසිකත්වයෙන් අපි මේ කලාව රහ කරන්නේ කොහොමද, අලුත් විදියට හිතන ගමන් ධාර්මිකව කලාවේ පතුල හොයන්නේ කොහොමද? දාර්ශනිකත්වයෙන් එහාට ගිය ෆැන්ටසියක් අරගෙන අපි සයිබර් අවකාශයේ අලුත් ජිවිතයක් හදන්නයි මේ උත්සාහය. අපි ජිවිත කලාව නැවුම් විදිහකට හොයමු. සයිබර් පන්හිඳත් එක්ක එන්න . මේ පාරෙන් අපි ජිවිතේ අලුත් අරුතක් දකිමු. සයිබර් පන්හිදත් සමගින් එක්වන්න ඔබත්... යොමු කරන්න ඔබේ නිර්මාණ අප වෙත cyberpanhinda@gmail.com වෙත.

Comments