මේ සා විසල් අහස යට 06 වන කොටස

ඕන්න එහෙනම් සයිබර් පන්හිදෙන් මේ සා විසල් අහස යට 06 වන කොටස




“අද තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගන්නේ.... සිදුසර ප්‍රතාපසිංහ.. ඒ අනුව රාජකීය විද්යාලය නියෝජනය කල සොදුරු කතිකයා විසින් මෙලෙසින් අන්තර් පාඨශාලීය කතික තරගාවලිය ජයග්‍රහණය කරන වගයි”

නිවේදිකාව ගේ මුවින් ඒ වදන් පිටවිය. අවකාශ ගත වූ ඒ වදන් පෙළ දේවියේ සුවිසල් ශාලාව පුරා පැතිර යන්නට ගත වූයේ තත්පර කිහිපයකි. දෝංකාරයක් මට නෑසුනි. ඇසුනේ ගිගුම් දෙන දේවියන් ගේ අත්පොලසන් නාදය පමණි. ජීවිතයේ ප්‍රථම වතාවට අහිමි වීමක් සම්බන්ධ දුකක් ඉපදුණි. එහෙත් ඒ අහිමි වීම කවරක්දැයි කියා සිතා ගන්නට තේරුමක් ද නැත. සමහර විට ඒ තරගයේ දිනා ගැනී‍මේ අහිමි වීම ම නොවන්නට ද ඉඩ ඇත...

“ ජීවිතයෙ හැටි ඔහොම තමයි තෙනුලයා...”
අප්‍රමාණ පරාජයන් නොමැති ලෝකයක වුවත් බොහෝ පරාජයන් අස ළග උන් ජනා අද ද මගේ දකුණු පස ය. මට දුකක් නැතුවා යැයි කිව නොහැකි ය. එහෙත් දුක් දරා හිනැහීම මා උගත්තේ කුඩා කල සිටය. එබැවින් මා ඌ දෙස බලා සිනාසුනිමි.

සියල්ල නිමා විය. ත්‍යාග සහතික පත්‍ර සහ සම්මාන පිරි නැමීම කෙළවර සභා තොමෝ විසිර යාමේ තීන්දුව ලද හ. සදරු සර් හෝ අපේ බැටෑලියමේ එකෙක්වත් කතාවක් නැත. සිදුසර ට සම්මානය පිරිනමද්දී පසුපස පේළිවලින් කොල ගුලි හතර පහකින් මට දමා ගැසුවේ පරිවාර රාජකීයන් කිහිප‍ දෙනෙක් බව මම දුටිම. එහෙත් මම එය ඉවසා උනිමි. සික්කා සමග ඇති කරගත් ගැටුම අද දිනයට හොදටම ප්‍රමාණවත් ය.

අප ඒ විසල් ශාලාවෙහි පියස්සෙන් මිදී මේ සා විසල් නිරුවත් අහස යට ට ඇවිද ආවෙමු. දහස් ගනන් දේවියෝ අතරින් අපහසුවෙන් ඇවිද ආවෙමි. උදෑසන අප ට අවධානය යොමු කළ අප වීරයන් කොට සැලකූ එකදු දේවියකට හෝ අප ගැන හැගීමක් නැත. අප දෙස නොබලාම ඔවුන් ඔවුනගේ රාජකාරිවල ය. උදෑසන ජනාට බෙහෙත් දැමූ දේවියකට ජනා සිනාසෙනු මම දුටිමි. එහෙත් ඇය ඔහුට රවා යන්නට ගියාය.

“ මාක්ස් කියුව එක ඇත්ත බං...”
ජනා තෙපලයි.

“පිරිමින් ට බැරි උනා කවදාවත් ගැහැණුන් ව කියවා ගන්න. අවසානෙදි පිරිමි ඔලුව ගහ ගත්ත එකම තැන තමයි ගැහැනිය”
ජනා ගේ දේශපාලන සුන්දරය. එහි අදහස තියරියෙන් කරුණු ගෙන කෙරුණු ප්‍රා‍යෝගික භාවිතයකි. එහෙත් අද ලංකාවේ ගොබ්බ දේශපාලකයන්ට ඒ වැටහීම නැත. එක්කෝ ඔවුන් දන්නේ තියරිය ඇත්තේ පොතේ පමණක් බවය. ඒවා ප්‍රායෝගික නැතැයි විසි කරයි. නැතහොත් තියරියකින් තොරව ප්‍රායෝගිකත්වයකට ඔවුන් උත්සහ දරයි. විය යුත්තේ තියරිය ගෙඩි පිටින් ගැනීම නොව අවැසි දෑ ගෙන සාර්ථක ප්‍රායෝගික න්‍යායක් බිහි කිරීමයි. එහෙත් වන්නේ අනෙකකි. මිනිසුන් අවසන දුක් විදියි.

ශාලාවෙන් එළියට බට අපි බොරැල්ල කනත්ත පැත්තට වෙන්නට ඇති ගේට්ටුවෙන් පිටව යන්නට තීරණය කලෙමු.

“තෙනුල... මම මෙහෙම්ම ආයෙ ස්කෝලෙට යනවා.. ඔයාලා ‍එන්න ඕන නැහැ..”

සදරු සර් ගේ හිතට හරි නැත. එහෙත් එහි ඇත්තේ මා පිළිබදව තරහක් නොවන බව මම දනිමි. ඔහුද ආදි මහානාමයෙකි. දක්ෂ කතිකයෙකි. මගේත් ඔහුගේත් එකම වෙනස ඔහු පාසල් ජීවිතයේ කවදාවත් පරාජයට පත් නොවූ කතිකයෙක් වීම ය.

“හිතාන ඉන්න ඇත්තෙ කප් එක උස්සන්න වෙන්න ඇති නේද බං...”
“ ඒවා කොහොද බං මේ රාජකීය ලේ ‍එක්ක”
“බලාපල්ලකො දැන් යන හැටි මහ ලොකු ජේත්තුකාර ස්කෝලේ නෝන්ඩි කුමාරවරු ටික...”

රාජකීයන් තරගය දේවියේ ශාලාවෙන් අවසන් කර නැති අයුරකි. මම ජනා දෙස බැලීමි. තවත් සටනකට සූදානම් මුහුණක් ඌ ළගය. නොහැක. රාජකීයේ පිරිස වැඩිය. අපෙන් දැන් ඉන්නේ මමත් ජනාත් හැරුණු කොට මිතුරන් දෙදෙනෙකු පමණි. ඉවසා සිටිය යුතුය. මම ජනා ගේ අතට තට්ටු කොට ඒ බැව් ඉගි කලෙමි.

“නංගි නංගි... ඔයා ලග වැඩිපුර යට ඇදුම් තියෙනවා නම් ගෙනත් දෙනවා ද? මේ නිරුවතින් පලායන කුමාරිකාවොන්ට අන්දන්න..”

උන් දේවියෝ ද කැටිව අපව මඩවන්නට සූදානම් වන සෙයකි. සෑම මීටරයකම රතු කට්ටක් කෙසේ වෙතත් අවසන් මායිමක් ඇතිවා වාගේම අපේ ඉවසීමේ ද සීමාවක් ඇත. කොයි මොහොතේ එය පුපුරා යා දැයි කිව නොහැකි ය. අප දේවියේ බුදු මැදුර පහු කරද්දී ‍දහස් ගණන් දේවියන් සැරි සරන බිමෙහි මම සෙවුවේ දේවියක් ද? නැතිවූ සැනසුමක් ද? නැතහොත් මගහැරුණු මිත්‍රත්වයක් ද? යැයි මට නිනව්වක් නැත. ජනා මගේ ඇස් කියවා ඇත. ඌ මගේ අතට තට්ටුකර අපට වම් පසින් පෙනෙන තට්ටුතුනේ‍‍ ගොඩනැගිල්ලේ ඉහලම තට්ටුව පෙන්වීය. පන්ති කාමරයේ ‍කොටු දැල්වල එල්ලීගන දේවියක් කාවදෝ ‍සොයනවා මම දුටිමි. ඒ දේවිය මා හදුනන්නී ය. එහෙත් ඒ සොයන්නේ මට වඩා ඇය හදුනන රාජකීයෙක් බව මම දනිමි. මම පිටුපස බැලීමි. අපට විසුලු කල රාජකීයෝ පෙනෙන්නට නැත. මම ලද අවසරයෙන් ජනාවත් අනික් උන්වත් ඇද ගෙන එතනින් ඈත්වීමි.

“තෙනුල....”

අවසන ගේට්ටුව තරණය කරන්නට පෙර මා පසුපසින් සිහින් කට හඩකි. මමත් ජනාත් නැවතීමු. අප අනෙක් මිතුරන් අපෙන් සමුගත්තේ ත් නිකිණි අවුත් අප හා එක පෙළට වැටුනේත් එක වරය.

“මම ඔයාව හෙවුවා..”
ඇගේ හඩ බිදී ඇත.

“අපි දැක්කා ... ඒත් අපි හිතුවා ඔයා හොයන්නෙ සිදුසර ව කියල...”
මම ඇය දෙස නොබලාම කියෝගන ගියෙමි.

ඇය කිසිත් නොකියු නිසා මා ඇගේ ඇස් මගේ ඇස් වලින් අල්ලා ගතිමි. ඒ ඇස් වල ඇති තෙතමනයත් රතු පැහැයත් ඇය මොහොතකට පෙර හඩා ඇති වගට සාක්ෂිය. එහෙත් ඒ ඇයි? සිදුසර ජයගත් සතුට ටද? මා පැරදුන දුකට ද? මාක්ස් හරිය ගෑනු තේරුම් ගත‍ නොහැකි ය.

“සොරි නිකිණි....”
අවකාශ ගත වූ වැරදි වදන් නැවත ගන්නට බැරි නිසා මිනිසුන් විසින් නිපදවා ගත් සමාව අයැදී‍මේ ප්‍රතිපත්තියට මා ද අවනත වුනෙමි.

“ඒකට කමක් නෑ .. ඔයා මේ කිසිම දෙයක් දන්නෙ නැහැ නෙ තෙනුල...”
ඇගේ මුවින් හැමූ සුසුමට ද වැඩි බරට ඒ වදන් පෙළ අවුත් මා සිත රිදවී ය. අප ගේට්ටුව පසු කර පාරට පිවිසුනෙමි.

“දෙවියනේ...”
නිකිණි ගේ මුවින් ඒ බියපත් කෙදිරිය පිටවූයේත් ජනාගේ ඇස් වල කියා ගන්න බැරි හැගීමක් මතු වූයේ ත් පාරේ කෙළවරක් දැක ය...

“මලා...”
------------------------------------
ලබන සතියට
_____________________
මේ සා විසල් අහසක් යට
_____________________
පේස්බුක් නවකතාව
ලියන්නේ
@ ගයාන් අබේසිංහ
උපුටා ගැනිම තහනම්.

Comments