බොන්ජොර්නෝ නවකතාව ...

ඕන්න එහෙනම් පොරොන්දු වුන පරිදි මචං යමු ඉතාලී අද සිට සැම බ්‍රහස්පතින්දා දිනක ඔබ වෙත එහි පළමු කොටස ඔබ වෙත ....

එහෙනම් රසවිදින්න අපේ හතරවන නවකතාව.... බොන්ජොර්නෝ





01 - පළමු කොටස

" ශාන් .. ඒයි ශානා ... නැගිටපන් ... නැගිටපන්
උදේ වෙලා යකෝ .. වරෙන් ගෙදර යමු "
වැල්ලේ නවතා තිබූ එකදින යාත්‍රාවකට වී
සූව සිහිනයක පහස ලබමින් සිටි මාගේ නින්ද කාබාසිනියා කලේ මගේ අපත මිත්‍රයා වන සෙඩ්‍රික් විසිනි.

"පට්ට හීනයක් දැක දැක බං හිටියෙ .. සෙඩා"
" ඉතාලියෙද උඹ හිටියේ ?" නක්කලයට මෙන් ඌ මගෙන් එලෙස අසනමුත් මට මෙන්ම ඉතාලි උණ ඌටත් සහලවාම ඇති බව මා දනිමි.
මන්ද යත්..

පෙරදින රාත්‍රියේ ඉතාලි ජූඩාගෙ ගෙදර වූ සාදය අතර තුර ජූඩා විසින් කරන ලද ඉතාලියේ විස්තර ඇසූ ඕනම එකකුට ඉතාලි උණ ගැනෙනු නියතය.මට මෙන්ම එහි සිටි අනික් උන්ද අන්දමන්ද වූවන් මෙන් කිසිදු ඇල හොල්මන්ක් නැතිව ජූඩාගේ කට දෙස බලා සිටියේ ඌ විසින් ගෙනෙන ලද රටබීම වල මතට වඩා ඉතාලියේ සැප ජීවිතය ගැන ඌ විසින් පවසන ලද කතාව නිසාවෙනි.

" මල්ලිලා ඉතාලිය කියන්නෙ පයතිබ්බත් හරියන රටක් බං.ඕකට ගිහින් ඇපල් ඇටයක් පැල කලත් ඇපල් වත්තක අයිතිකාරයෙක් වෙලා තමා නතර වෙන්නෙ .උඹලත් වරෙන් .. මම ආවම බලාගන්නම් " ඒ ජූඩ් විසින් තොරතොංචියක් නැතුව පවසන ලද වචන අතර මා හිර වුන දෙබස් කීපයකි.

ජූඩාගේ ඉතාලි ගමන ඕනෑම වැල්ලේ එකකු හාස්‍යට මෙන්ම පුදුමයට පත්කරන සිදුවීමකි.කලකට ඉහත මූදු රස්සාවෙ නියැලුන එකකු වන ජූඩා ,සෑම දිනකම පාසා සවස් යාමයේ සිට මදුවිත හා බැදී සිටි එකෙකි.දිනක් සුපුරුදු පරිදි පමනට මත්ව සිටි ඌ රාත්‍රිය ලැගුම් ගෙන තිබුණේ එදින ඉතාලිය බලා අනවසරයෙන් පිටවීමට නියමිතව තිබූ බහුදින යාත්‍රාවක ගබඩාව තුළය.නින්දෙන් අවදි වී පිටතට ආ ජූඩා සිටියේ මහ සයුර මැදය.

" කොහෙද යකෝ මේ යන්නෙ ?" ජූඩා පවසන විට එහි වූ වුන් මවිතයට පත්ව තිබුණි.නැවත හරවා ගොඩබිමට ඒමට නොහැකි වූ හෙයින් ජූඩාද ඉතාලියට ගොඩ බැස තිබුණේ එම යාත්‍රාව නැවත නොඑන එකක් වූ නිසාවෙනි.
වර්තමානය වන විට සුවිසාල නිවසක් , රථවාහන හිමිකරුවකු වන ජූඩා වාසනාවන්ත කාලකණ්නියෙකු යැයි වැල්ලෙ බොහෝ වුන් පවසනු මට ඇසී ඇත.

ජූඩා වැනි එකකිකුට වාසනාවන්ත ජීවිතයක් ලබා දුන් ඉතාලිය මොන තරම් පිංවත් රටක් විය යුතුද?
එවැනි රටකට ගොස් මේ කුබ්බෑයමින් චුත වන්නට අපට නොහැකිද ? මා විසින් මගේ සිතින් ප්‍රශ්න කරන්නට විය . කෙසෙ හෝ ඉතාලි යා යුතුය. එහි ගොස් සිහින සැබෑ කරගත යුතුය.මා විසින් කරන ලද නිරීක්ශණ වලින් පසුව නිගමනයට එළබුණි.

" අපිත් යමුද බං ඉතාලි ?" මා අසල මනෝ සුවෙන් පසු වුනු සෙඩාගෙන් මා අහන්නට විය.

" ඉතාලි නේ ... ඉතාලි ... ඊයේ රෑම මගේ හිත ඉතාලි ගියා බං , දැන් මගේ කද එකනකන් රෝමෙට වෙලා හිත බලන් ඉන්නවා මචං" සෙඩාගේ වචන මට දිරියක් විය.
නිදා සිටි තැනින් සිට ගත් මා "යමු ගෙදර " යැයි පවසමින් සෙඩා සමගම වැල්ල දිගේ නිවසට ඇදෙන්නට විය.

* * * * * *

දුර සිටම අප නිවස කිට්ටුවට පැමිණෙනවාත් සමගම දොරකඩ පුපුර පුපුරා සිටි අම්මා දුටු සැනින් සෙඩ්‍රික්
මා මගහැර හොරෙන් ලිස්සා යාමට තැත් විය.
"යකෝ එකට කාලා ඕම මාරු වෙන්න එපා යකෝ "යැයි මා ඌට පැවසූ නමුත් අපෙ අම්මා කෙරෙහි වුනු බය නිසාවෙන් ඌ නවතා ගැනීමට හැකි නොවීය.

තනිවම නිවස කඩුල්ලින් පැන යනවාත් සමගම අම්මාගේ දෙහි කැපිල්ල ආරම්භ විය
"යකෝ ..යන ඕන කුබ්බෑයම ලැගලා තොට රෑට නිදාගන්න ගෙදර එන්න බැරිද ? අම්මා තනියම කියලා තොට දැන් ගානක් පතක් නෑ නේ .. බොල ? කනමදයා වගේ බීලා බීලා අහුකුණුවල දපන්නෙ ."

මා බලාපොරොත්තු වූ තරම්ම අකුණු සැරක් එහි නොවීය.මද සිනාවකින් ඇය පසුකරමින් ගෙට ගොඩවෙන ගමන් "ඔයාව උස්සන්න කවුද අනේ එන්නෙ?" යැයි නෝක්කාඩුවක් කලෙමි.
"තොට කිවා කියලා හිතාගනින්" ඇය පැවසුයේ එපමනකි.

"බඩගිනි ... කන්න මොනාද තියෙන්නෙ ? "මා ඇගෙන් ඇසු සැනින් මා වෙත ආ අම්මා විසින් බෙද දුන් බත් පත් පිලිකන්නට වී කමින් සිටින අතර ඒ අසල වුන් අම්මාට ඊයේ වුන් සියලු විස්තර පවසන්නට වීමි .
අනතුරුව

" මටත් හිතෙනවා අම්මෙ ඉතාලි යන්න .මේකෙ ඉදලා මේ ජන්මෙට ගොඩ එන්න බෑ.. " මා ඇයට ඉතාලි යන්නට මා හට ඇති සාධාරණ හේතු මුමුණන්නට විය .
මදක් නිහඩව සිටි ඈ " මොකේද බෝට්ටුවෙද " යැයි ඇසීය.

ඇය මෙසේ අසන්නට හේතුව මා පැහැදිලිවම දනිමි.වැල්ලේ එකකු වුවද අද වන තුරාවට ධීවර රස්සාව පිනිස මා මහ සයුර තරණය කොට නැත.
මන්ද මේ සයුර , සහ අම්මා මෙන්ම මමද විසදා නොගත් ගණුදෙනුවක් අදටත් අපඅතර පවතින හෙයිනි.මීට වසර කීපයකට පෙර රස්සාව පිණිස මුහුදු ගිය අපෙ අප්පොච්චා අදටත් නැවත එනතුරු අප බලාසිටින හෙයිනි.විටක මම මෙන්ම ඇයද කිසිදු හැගීමකින් තොරව වෙරලේ සිට මහසයුර දෙස බලා හූල්ලන්නෙමු.මගේ මතකය මෙම සිදුවීම වුනු මුල් කාලයට දිවයයි.එම දිනවල අපේ නිවසේ වූ සැනසීම මුහුදුබත් වී තිබූ අයුරු සිහියට නැගේ. උමතුවෙන් මෙන් අප ගෙවූඒ නුහුරු කාලය කෙමින් කෙමින් කාලයේ ඇවෑයමෙන් මදක් ගිලිහුනා මිසක අප සිත් තුළින් පහව ගොස් නැත.

අපඅතර වූ කෙටි නිහඩවබවින් මිදෙමින් මා හඩ අවදි කලේ බත් කටක් මුවෙහි තිබියදීමය.
" දැන් බෝට්ටු ඉස්සර වගේ නෙවෙ අපෙ අම්මා,තාක්ෂණේ දිවුණුයි දැන් " මා ඇයව තව දුරටත් මේ කාරණය සම්බන්දව නඹුරු කරගැනීමේ අදිටමින් පැවසුමෙමි.

නමුත් ඇය නිහඩය ..

අපේ අම්මා ඉතා අහිංසක ගැහැණියකි.වැල්ලෙ අනික් වුන් හා සසදනකල ඇය අහසට පොළව මෙනි.කාගේ හෝ සිතක් රිදවීමට ඇය වචන පාවිචි නොකරන්නීය.විටක මා විසින් කරනු ලබන නොහොබිනා ක්‍රියාවකට මා හට තරවටු කරනවා ඇරෙන්නට අනික් වැල්ලේවුන් මෙන් රංඩු වීමට හෝ ඕපාදූප සෙවීමට ඇය කාලය අපතේ නොයවයි.
පියා උපයන ලද දනය ඉතාම සූක්ෂම අවුරින් පරිහරනය කල ඇය විසින් නිවස තුළම කුඩාවට සිල්ලර වෙළදසලක් ඇරඹූයේ පියා අප සමග සිටින වකවානුව තුළය.
ඇය තුළ වූ සහජ හැකියාව මෙන්ම වාසනාවට එම ව්‍යාපාරය දිනෙන් දින දියුණු විය.වැල්ලෙ සිටින ඊර්ෂියා එකකු ඇරෙන්නට බොහොමයක් වුන් එදිනෙදා ගණුදෙනු කරන්නෙ ඇය සමගය.

තවමත් ආගන්තුකයන් මෙන් නිහඩ අපේ අවදානය යොමු වූයේ මිදුලෙන් ඇසුනු යතුරු පදියේ හෝන් හඩටය. මා අතේ තිබූ හිස් වූ බත්පත මේසය උඩින් තැබූ ඇය වතුර වීදුරුවක් මා අත තබමින් පිටව ගියේ ' කඩේට ඇවිත් ද කොහෙද ? ' යැයි මුමුණමිනි.

ඇය මෙම කාරණය සම්බන්දව අසරණ බව මා දනිමි.මගේ සිත රිදවීමට ඇය අකමැතිය එමෙන්ම මා යන්නට අවසර පතන ගමනටද ඇය මනාප නැත.කෙසෙ හෝ ඉතාලි යාමමගේ සිහිනයයි.ඒ සිහිනෙන් මිදෙන්නට මා තුළ කිසිසේත් කැමැත්තක්ද නැත.
වතුර වීදුරුව අතතබා දහසක් සිතුවිලි අතර අතරමංව සිටි මා නැවතපියවි ලෝකයට ගෙනාවේ
මවගේ හඩිනි.

' කොල්ලෝ .. මේ උඹව හම්බෙන් ඇවිත් ' ඇය මැද මිදුලේ සිට උස් හඩින් බෙරිහන් දෙයි.

' උදේම මාව හම්බෙන්න මොන බහිරවයද?' සිතින් මුමුනමින වතුර උගුරක් බොමින් උන් තැනින් ' අම්මෙ ' ලෙස කෙදිරියක් පිට කරමින් නැගිට කුස්සියෙන් පිටවුයේ උදෙන්ම මා සොයා ආවේ කවුරුදැයි සිතමිනි,..............

° • ° • ° • ° • ° •° •° •°•°•°
ආවේ කවුරුද .... වෙන්නේ මොනාද
යන්නේ කවද්ද
දැන ගගන්න ලබන සතියෙත් එන්න මේ පැත්තට

එතකන් හැමෝටම ' Ciao ' ඈ !

අයිතිය කර්තෘ සතුවේ උපුටා ගැනීම සපුරා තහනම් .

Comments