හුස්මක් දුරින් නවකතාවේ දෙවන කොටස




හුස්මක් දුරින් නවකතාවේ දෙවන කොටස ඔබ වෙත ගෙන ඒමටයි මේ සුදානම.

02 කොටස...

“පින්නට අහුවෙන්න එපා.උඹ ආයෙම ලෙඩ වෙයි.”
අප්පච්චි ‍කොච්චර කෑ ගැහුවත් මම තෙමෙන්නමයි ආස. මම තොලපට පෙරලා අප්පච්චිට විරිත්තුවා. වහින එක හැමදාම වහිනවැ.
“එතකොට අප්පච්චි තෙමෙනේනේ?”
“මට ඕවා පුරුදුයි නෙව”
“මටත් පුරුදු වෙන්න ඕන”
“හහ් පණ්ඩිත ආච්චි. මේකිට තියෙන්නේ අම්මාගේ කටමයි.”
අප්පච්චි ඇහෙන ‍නෑහෙන ගානට කිව්ව‍ට මට ඒක හොදට ඇහුනා. මම සිනාසි පොත් ටික දාගත්තු සිලි සිලි මල්ල පපුවට තද කරගත්තා. දෙවැටෙන් පැනලා නියර දිගේ මම ඉස්කෝලෙට පිම්මෙ දිව්වේ පුරුද්දට.අපේ ඉස්කෝලේ තිබුනේ ගමේ පන්සලට අල්ලපු වැටට වෙන්න.
“ආහ් මොට්ටි අද කළින්ම ආවද?”
රන්දික ඇහුවේ මගෙන්. මම හිනා වුනා විතරයි. විශ්වාස කරන්න, වක්කඩේ වගේ දිගඇරෙන මගේ කට හැමදාමත් රන්දික ඉස්සරහ වැහෙනවා. රන්දිකයි මමයි ඉන්නේ එකම පන්තියේ. රන්දිකගේ අම්මයි අප්පච්චි වැඩ කළෙත් මේ ඉස‍්කෝලෙමයි. ගුරුවරු දෙන්නෙක්ගෙ පුතෙක් වුනාට රන්දික අමු කුපාඩියා. ඒත් මම කැමතියි.
රන්දික මට කතා කරන්නේ මොට්ටි කියලා. ඒ ඇයි කියන්න මම දැනන් උන්නේ නෑ. ඒත් එයා වෙන කාටවත් මට ඒ නම කියන්න දුන්නෙත් නෑ.
“තෝ ආයේ එහෙම අමාට මොට්ටි කියපන් බලන්න. මම විතරයි එහෙම කියන්නෙ. උඹ අමා කියලා කතා කරපන්. කතා නොකලත් අවුලක් නෑ.”
පන්තියේදි ලමුන් ඉස්සරහ මට මොට්ටි කියලා කතා කරපු තේජට විවේක කාලයේදි අඹ ගහ ගාව ඉදන් රන්දික බැනලා කනට ගහපු කතාව මට කිව්වේ මගේ මිතුරිය නෙළුම්.
“මට කවුරු කොහොම කතා කළත් එයාට මොකෝ?”
මම එහෙම නෙළුම්ට කිව්ව‍ට හිත යටින් හීන් සතුටක් ඇතිවුනා.
“උඹ ඔය ඇත්තටමද කියන්නේ?”
නෙළුම් මගෙන් ඇහුවේ කල්පනාකාරීව.
රන්දික ගැන මගේ හිතේ තිබුනේ කැමැත්තක්. ඒත් ඒ ගැන හිතන්නත් බය හිතුනා. අපි ගොවිතැන් කරන මිනිස්සු. රන්දික වලව්කාරයෝ. නමට එන්නෙත් ඉහළ ගම් තුඩාවේ අතුකෝරළ මුදියන්සේලෑ රන්දික අභිලාශ් සේනානායක.
නමේ දිග‍..
මගේ නමට තියෙන්නෙ අකුරු දෙකයි. අමා..
ගණන් පාඩම වෙලාවේ මම පිටිපස්ස හැරුනේ මිතුරියගේ කවකටු පෙට්ටිය ගන්න. එහා පැත්තේ වාඩිවෙලා උන්නු රන්දික දිහෑ මට බැලුනේ නිකමට වගේ. මම ගැස්සුනා. ඔහුත් මා දිහා බලාගෙන ඉදපු එකට හිත බය වුනා. ඊට පස්සේ මට ගණන් හදන්න පුළුවන් කමක් තිබ්බේ නෑ. බලාගෙන හිටියේ බෙල් එක ගහන්නේ කොයි මොහොතේද කියලයි. පන්තියෙන් දුවන්න.
උඹට රන්දිකයා සෙවල හලනවා නේද?
පාසල් ඇරී ගෙදර එනකොට නෙළුම් මට කිව්වේ වැව ඉස්මත්තේ වාඩිවෙලා ඉන්දැද්දි.
උඹ‍ට පිස්සුද? මට නම් එහෙම හිතෙන්නෑ.
උඹට ඉතින් මොනාද හිතෙන්නේ?
මම මුකුත් නොකියාම වැවට ගලක් ගැහුවා. රන්දිකගෙයි මගේ අතර තියෙන්නේ අහසට පොළව වගේ දුරක්. පාසලේ ඉන්න අනිත් හැම පිරිමි ලමයෙක්ටම වඩා මම රන්දිකට කැමතියි. රන්දිකයි මමයි පුංචි කාලේ ඉදලා එකම පන්තියේ උන්නේ. එයාට බැරි ගණන් පාඩම් එයාට කියලා දෙන්න කියලා ටීචර් මට කිව්වම මම හා කිව්වේ බොහෝම කැමැත්තෙන්.
ඒකට හේතු දෙකක් තිබුනා. ඒකක් මට රන්දික එක්ක ඉන්න කාලයක් තියෙන නිසා. අනෙක උගන්නන්න මම ආසයි.
“කවදාහරි දවසක උඹ ඉස්කෝලේ හාමිනේ කෙනෙක් වෙයං මයෙ පුතේ”
මම රෑට කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන වෙලාවට අම්මා නිතරම කියවන්නේ මන්තරයක් වගේ. රන්දිකට තිබුනේ දිග ඇස් දෙකක්. මූණ රවුම්. හොදින් මුඩු කරපු මුහුණෙන් තාමත් ලාමකබව පේනවා. ඒත් මුඩු කරන්න තරම් රැවුල් මොටයක් ඒ මූණේ තිබ්බෙත් නැද්ද මන්ද.
“ඒයි”
නෙළුම්ගේ හඬින් මම හීන ලෝකයෙන් පියවි ලෝකයට ආවා.
“මොකුත් නෑ”
“ඇහ් අඩි, මුකුත් නෑ කියන්න මම ඇහුවද උඹෙන් මොකද කියලා? උඹ මගෙන් මොනා හරි හංගනවා නේද?”
“නෑ බං”‍
අප්පච්චි වෙලේ ඉදන් කියන පැල්කවි හැමදාමත් වගේ කවුළුවේ හුළගත් එක්ක ඇවිත් මගේ හිතේ තැම්පත් වුනා. පාඩම් පොත පැත්තකින් තියලා මම කවුළුව ළගට ගියේ ඒ සීතල හුළඟ විදින්න. රෑ අහසේ හද හොදට පායලා. කාමරේ තියන කුප්පි ලාම්පුවේ මලානික එළියට වඩා හද එළිය තියුණුයි. මට රන්දික මතක් වුනා. අපි අතර කිසිම සම්බන්ධයක් නෑ.අඩුම ගානේ එයා මගේ මිතුරෙක්වත් නෙවෙයි. ගෙදර වැඩිමලා විදිහට හීන බලන්න කළින් මට කරන්න දේවල් ගොඩාක් තියෙනවා. ඒ හීනයට වඩා මගේ දෑස්වල තවත් ජීවිත කිහිපයක් රැදිලා තියෙන බව මම දන්නවා.
දවසක් මම පන්තියෙන් පිටවෙනකොට රන්දික මාව අල්ලගෙන මට කිව් වචන ටික මට ආයෙම මතක් වුණා.
“උඹ කවදා හරි දවසක මැරෙන්නේ මා ගාව”
ඒත් ඉතින් හීනයකට අවසර නැද්ද මන්දා..

ලබන සතියේ හමුවෙමු ..

උපුටා ගැනීම තහනම් . අයිතිය කර්තෘ සතුවේ 

Comments