මේ සා විසල් අහස යට ..4 - කොටස...

සැම අඟහරැවාදා දිනකම දිග හැරෙන මේ සා විසල් අහස යට ..


4 - කොටස...

“මොකද ? මොකද? මෙතන වෙන්නේ...?”
මම පිටුපසට හැරෙන්නටත් කලින්ම ඒ හඩ අවකාශ ගත විය. දෙවි පිහිටය. බුදු සරණය. ඒ තවත් සික්කන් දෙදෙනෙක් නොවන වග දැන ගනම මම ඒ කවුදැයි බැලිමි. තත්පරයක් ඇරඹුනි. ආරම්භයේදී ම දෙනෙත් ගැස්සුනි. ඒ ඇය ය. මොහොතක් තත්පරය කොටසින් කොටස ගෙවී අතීතයක් විය. මම ඒ දෙනුවන් දෙස බලා උනි. තත්පරය අවසන් වන්නට මත්තෙන් මා පිළිතුරු බැදීම ඇරඹිය යුතුය. නැතහොත් සික්කා තරගය දිනනු ඇත.

“මිස්... අපි මහානාමෙන්... අද තියෙන සාහිත්‍යය තරගයට ආවෙ...”
ඇය අසලින් සිටි මැදිවියේ ගුරුතුමියට මම කරුනු දැක්වීමි.

“අනේ.. අනේ.. පිට ඉස්කෝලෙකින් එන ළමයින්‍ ට මෙහෙමද සලකන්නේ එස් ඕ?”
මෙතෙක් වෙලා රජ වුනු සික්කා දැන් බලුගැත්තා වුවා සේ ය.

“නෑ.. මිස් .. මේ .. මේ..”
දෙයියන්ට ඔප්පුවෙචිචාවෙ මේකා ගොලුවෙක් උනාවත් ද? මම මගේ හිතින්ම ප්‍රශ්න කලෙමි. මෙයට මොහොතකට පෙර යස අගේට රැලේ දුවන බලු තඩියෙක් වගේ චණ්ඩි පාට් දැමූ සික්කා දැන් උගුරේ වැලි හිරවුන බල්ලෙක් සේ ය.

“හරි ... හරි... දැන් ඕක ඔතනින් විසදගන්න. මම දේවිය වෙනුවෙන් මේ දරුවො දෙන්නගෙන් සමාව ඉල්ලනවා. කාටවත් තුවාල නැහැනෙ. එස් ඕ මීට පස්සෙ තමන් ගේ රැකියාව කරද්දි මෙහෙම දේවල් වෙන්න බෑ.. මම මේක ඉහලට දන්වන්නෙ නැහැ ..ඒත් මේ අවසාන සමාව”
ඇය අවසන් තීන්දුව දුන්නා ය. නීතිය අවනීතිය වෙන කාලෙක දෑස් වැසූ කුමරිය නොව දේවියේ මිස් කෙනෙක් අපිට යුක්තියේ සමනල්ලු පෙන්වීම අපට ද පුදුමය.

“හරි... දැන් මේ ළමයි යන්න තම තමන් ගේ පන්ති වලට”
ඉක්බිති සි‍යල්ලෝම විසිර ගියහ. සතුටින් ද දුකින් ද කියන්නට නොහැක. එහෙත් දේවියේ කෙල්ලන්‍ට අපි දෙදෙනාම පුල් පන් එකක් ප්‍රී දුන් වග නම් අපි දුටුවෙමු. බොහෝ කෙල්ලන් මල් වගේ ය. ඇය මල් මැද මලකි. සමහර කෙල්ලන් යන්නට යද්දී අප දෙදෙනා දෙස බලා ගි‍යේ ‍මහදවාලේ සත්තුවත්තෙන් එළියට පැමිණි ගෝරිල්ලෙකු දෙස බලනවා සේ ය. ගෝරිල්ලා ට ගෑනු ආදරේ අතීතයේ පටන් යැයි ඉතිහාසය කරන සුරන් සර් දවසක් කියුව එක ඇත්ත ය. ගෑනු., ගෝරිල්ලා ට එළි පහළියේ අකමැති වුවත් උගේ ශක්තිමත් සිරුරට යටිහිතින් කැමතිය. තත්පර ගණනකදී අපි දෙදෙනාම දේවියේ වීදුරු ෂෝකේස් නොදැමූ ප්‍රදර්ශනාගාරයක දේවියන් පිනවන ගෝරිල්ලන් දෙදෙනෙකු වීමි.

“තෙනුල..”
මෙතෙක් නිහඩ ඇ‍‍ගේ මුව අවදිව විය. ඇය ම‍ගේ ගෝරිල්ලෝ පැන්ටසිය සමනල් පැන්ටසියක් කරන්නා සේ ය. මිස්.. නිකිණි දෙස හෙලුවේ අමුතු බැල්මකි. නිකිනි මගේ නම කියු පසු අප හදුනනවා යැයි ඇය සිතන්නට ඇත. කොළඹට හදිසියේ අකුණුක් කෙටීය. ඈතක විය යුතු ය. ළග පාතක නම් මෙයට වඩා ශබ්ද වැඩිය. අහස නම් ඒතරම් අදුරු පාටක් නැත.

“නිකිණි මේ අය අදුරනවා ද?”
අකුණු හඩට මොහොතකට පසු මිස් ගේ හඩ ය.

“ආ... ඔවු සිතාරි මිස්.. මේ දෙන්න ම අපේ ගෙවල් පැත්තෙ.. ක්ලාස් ප්‍රෙන්ඩ්ස්ලා ”
ඇය උත්තර බදිද්දී මම ජනා දෙන බැලීමි. උගේ එක් අතක් අනික් අතින් අල්ලා ගෙන වේදනාවෙන් බලා හිදියි. හිතුවා හරිය සික්කා දේවියෙන් අමතක නොවන කෑමක් අපට තිළින කොට ඇත. ජනාගේ අත ට කුමක් හෝ වී ඇත.

“ ආ ඔය දරුවගේ අත පොඩ්ඩක් තැලිලා නේ ද?”
මගේ ඇස් දිගේ ම ජනාගේ අත දුටු සිතාරි මිස් ජනාගේ අත දැක ඇත. ඇය ජනා සමීපයට ගොස් එය සෙමින් පිරික්සුවා ය. ජනා අපහසුවෙන් වේදනාව දරා හිදින බව මම තේරුම් ගතිමි.

“නිකිනි... මේ ඔයාගේ යාලුවො දෙන්නව ප්‍රථමාධාර ඒකකයට එක්ක යන්න. මම ගිහින් හෝල් එ‍ක බලලා එන්නම්.”
තාරාවාට පී කියන්න කියුවා ම ඌ පී පී ගෑවා වගේ ය. මොහොතකින් අපි උන්නේ දේවියේ ප්‍රථමාධාර ඒකකයේ ය. ඒකකයේ කෙල්ලන් දෙදෙනෙක් ප්‍රථමාධාර සපයන්නට හිදියි. උන් දෙන්නා දුටු මොහොතේ ජනා ගේ හෘද ස්පන්ධනය නැවතුනා දැයි මම ඌ දෙස බැලුවෙමි. ජනා අනිමිස ලෝචනයේ ය. මම උගේ අත මිරිකුවෙමි. දැහැන බිදුණි.

“ඔහොම බලන්න එපා යකෝ.... ඊගාව පාර සික්කොන් ගෙන් නෙවෙයි දේවියන්ගෙන් ම කන්න වෙයි අපිට”

“ හැමදාමත් යාලුවේ මම ඉන්නෙමි දේවියේ
මගේ හදවතේ තුවාල සුව වේ නම් ප්‍රේමියේ”
ජනා මගේ කනට කර ගයයි. මම සිනාසී ඌව තල්ලු කලෙමි. ඌ ඇතුල් කුටියේ ය. මා අස මලකි. නැත. මල් වරුසාවකි. තෙමෙන්නට පමනි දැන් ඇත්තේ. ඇය සිනාසෙන්නී ය. මම ද සිනාසීමි.

“සොරි හොදේ අපේ එස් ඕ හරි මෝඩයි”
“ඒකට කමක් නෑ අපි ගැහුව පොරට ... ආයෙ එහෙම දේවල් කාටවත් නොකියන්නම”
මම වීරයා වීමි. ඇය සිනාසුනි.

“අද කතාවට රෙඩි ද?”
ඇය හිස ඇල කොට සිනාසී අසන්නී ය.

“ඔවු... කොහොමත් ගේමකට ඉන්නේ.. රෝයල් එකේ අර සිදුසර ප්‍රතාපසිංහ කියල ඉන්න බෝයි තමයි. අනික් අය නම් අවුලක් නැහැ.”
එක් වරම අකුණක් ගැසීය. ඒ නම් රාජගිරිය පැත්තට විය යුතු ය. මගේ වචන ඇගේ සවන් සිඹිද්දී ඇගේ වත මලානිකව ගියේ එක්වරම ය. ඇය කුමක් දෝ තමන්ටම තොල් මතුරා ගත්තීය. ඇගේ වත මඩල වෙනස් වන්නට හේතුව මා කියූදේ ද රාජගිරියට ගැසූ අකුණ ද යන්න හදුනාගන්නට තත්පරයක් ගතවන්නට වූයේ නැත කාමරයේ දොරටුව දෙසින් කාගේ දෝ හඩක් මතුවිය. හඩ තරුණය. යෞවනය. ප්‍රේමණීය හඩක් වගේ ය. ඒත් බාලිකාවල කොහෙද පිරිමින් ගේ ප්‍රේමණීය හඩවල්. සංශයකි...

“හායි නිකී බේබී.... මයි ස්වීටී...”

තවත් දුෂ්ඨයෙක් දේවියට අවුත් ද?
------------------------------------------
ලබන සතියට

කර්තෘ අයිතිය සුරකින්න . උපුටා ගැනීම .තහනම් ...

හැකි නම් අදහසක් එක් කර යන්න එය කර්තෘ වරයාට උපකාරය වේ . එමෙන්ම හැකි නම් මිතුරන් අතර හුවමාරැ කරගන්න .

Comments