දුවිලි මතක (කෙටි කතාව )


 
 
 
 
 
 
 
ඕන්න එහෙනම් සයිබර් පන්හිදෙන් ඔබ වෙත ලබා දෙවෙනි කෙටිකතාව වන දුවිලී මතක කෙටිකතාව ඔබ පිරිනමනු ඇත.

දූවිලි මතක ________________

උදෙන්ම ඉපිලෙන හිතක් නැතිව ඔහේ මා‍ර ගහ යට සිමෙන්ති පඩියේ වාඩි වෙලා උන්නේ ශ්‍රියානි ටීචර් පන්තියේ දොර අරිනකම්.එතකොට මම හතර වසරේ.. කිරි ටොයිය වගේ අළුත් ඇඳුමක් අරන් ඈතින් දුවන් එන්නේ සිරිමලයා.. මූන පේන්න තාත්තා මැදලා දුන්න සපත්තු දෙකේ දූවිලි ගහගෙන මගේ ගාව බ්‍රේක් ගැහුවේ හති දාන්. "සෝමේ මම TV game එකක් ගත්තා. ඊයේ තාත්ත ගෙනත් දුන්නේ." නිහැඬියාවෙන් පිරිච්ච පපුව බෙර ගහනවා වගේ ගැහෙන්න ගත්ත පොඩි කමට. ඒක නියමයි. අරමයි මෙහෙමයි. ඉස්කෝලේ ඇරෙනකම්ම හිත පිරෙන්න මම ඒ ගැන විස්තර අහගත්ත සිරියගෙන්.

ගෙදර ආවේ ඉපිලිච්ච හිතකින්.ආපු හැටියේ අම්මගේ ඇඟේ එල්ලිලා සිරිමල්ගේ TV game එක ගැන අකුරක් නෑර අම්මට කීවා. ඒත් "අම්මේ අපිත් එකක් ගමුද" කියන දේ කටින් එලියට නොඑන්න ආයාසයෙන් සීමා දාන්.

කියන හැමදේටම "හ්ම්" ඇරෙන්න වෙන මුකුත් අම්මගෙ කටින් පිට වුන් නෑ. අම්මගේ හිතට දැනෙන දේ හිතන්න ඒ තරම් සිහියක් මට තිබ්බෙත් නෑ.

අම්මගේ අකාරුණික "හ්ම්" හඬන් හිස් බලාපොරොත්තු තියන් ඇඳට ආවා.රෑ වෙනකම් ඇඳට වෙලා හිතින් car game ගැහුවා.mario ගැහුවා. එහෙම්ම නින්ද ගිහින්.

ආයේම ඇහැරුනේ දොරට තඩි බාන සද්දෙට අම්ම බයවෙලා ඇඳෙන් බහිනකොට. කාලෙකින් ගෙට ආවේ අප්පච්චි.ඉස්සරට වඩා ටිකක් කෙට්ටු වෙලා.ඒත් පුරුදු අරක්කු ගඳේ නම් වෙනසක් නෑ.. අම්මා දොර ඇරලා බයේ ආයේ කාමරේට ගියා.වෙනදට බොරුවට නිදි වගේ ඉන්න මං අප්පච්චි ලඟට වෙලා වීරයෙක් වගේ උන්නා.TV GAME එක ගැන අකුරක් නෑර අප්පච්චිටත් කීවා. අම්ම වගේ අප්පච්චි නපුරු නෑ.හැමදේ ගැනම හාර හාර විස්තර ඇහුවා. අන්තිමට කීවා computer එකක් කීයක් වෙනවද tv game ඕන නෑ ලබන සතියේ computer එකක් ගමු කියලා.. හිතේ සතුට කියලා ඉවර කර ගන්න බෑ.එලිවෙනකම් මම හිතින් computer game ගැහුවා.

ඊළඟ දවසේ මාර ගහ යටට දිව්වේ වෙඩිල්ලක් වගේ.. "සිරි අපි ලබන සතියේ computer එකක් ගන්නවා. කීයක් වෙනවද බන්?" දවස් ගානක් මම සිරීට computer එකේ ලොකුව කියෙව්වා.

අවුරුදු ගානක් ගෙවිලා ගිහින්. අදටත් මට computer එකක් වත් tv game එකක් වත් නෑ..ඒ කිසි දේක අවශ්‍යතාවකුත් නෑ. ඒත් වෙනසක් නැතිව අප්පච්චිගේ අඩුව දැනෙනවා.. මොනවා නැතත් අප්පච්චි උන්න නම්.වෙනසක් නැතිව අදටත් පොඩි හිතට දැනෙනවා.

-සෝමේ-

උපුටා ගැනීම තහනම් . එමෙන් අයිති කර්තෘ සතුවේ .

Comments