මේ සා විසල් අහසක් යට (දෙවන කොටස)










 











02 කොටස ..

ජනා ගේ කෑ ගැසිල්ලට මම හැරුණේ ක්ෂණයකිනි. බස් හෝල්ට් එක දෙසට දේවියක් පාවෙති. හිනා මල් යායක් පිපී ඇත. ඇය එන්නේ අප දෙසට බැව් මට නිකමට මෙන් සිතුනි. ජනා උන්නේ කටත් ඇරගෙන ය.

“ඒයි.. වහගින්න බන් උඹෙ ඔය බිං ගේ”
මම ජනා ගේ මැණික් කටුව මිරිකුවෙමි. ඌ යුවතිය ළග තිබූ දෑස් මා දෙසට ඇදගත්තේ ය. මට ජනා ගේ මුහුණ දැක සිනා නොවී සිටිය නොහැකි විය. එහෙත් මේ පාරය. මම ආයාසයෙන් සිනාව නවතා ගතිමි.

“හායි... ගුඩි මෝනින්.. මේ තෙනුල නේ ද?” ඇය කෙළින්ම අව්ත සිට ගත්තේ මට සම්මුඛවය. එහෙත් මගේ මනස පුරා මම ඇය සෙවීමි. මතකයේ එක් සෛලයකවත් මෙයට පෙර ඇගේ රූපය සටහන් වී නොමැති බැව් මා තත්පරයකිනුත් දශමයෙන් පංගුවක දී අවබෝධ කොට ගතිමි.

“ගුඩ් මෝර්නින්.. ඔයා...??”
ඇය කවුදැයි නොවිමසා බැරිම තැන මම ඇසීමි

“මම නිකිණි”
ඇය උරයේ දමා ගෙන උන් බෑගය මදක් ඉහළට ඔසවා පැවසීය. ඇගේ දොතොල් අග හැම මොහොතකම සිනා වැසි වැටෙන්නේම ඇයිදැයි මට සිතා ගත නොහැකි ය. අනෙක් අතට ඇ තරම් ප්‍රසන්න යුවතියක ගේ සුන්දර වතක් මේ තරම් සජීවීව හා සමීපව මා දැක තිබුනාදැයි මතක නැත. මොනවා හෝ කිය යුතුය. මම වචන එක්කාසු කිරීමේ විශාල තරගයක යෙදුනි.

“නිකිණි ව මං මීට කලින් දැකල නැහැ නේ”
අවසන මම එසේ කියුවෙමි.

“හ්ම්.. මම නම් ඔයාව දැකල තිබුනා. පස්ට් ටයිම් මං එදා ඔයාව දැක්කේ විශාකා එකේ දී... කතික තරගෙදි .. ෂා... එදා නම් ඔයාගේ කතාව නියමයි ”
ඇය කතා කරද්දී ද මුවට සේම හිසට ද විවේකයක් නැත. වචනයක් වචනයක් පාසා හිසත් සැලෙයි. සිනාවත් හැලෙයි. දැන් හරි. සහසුද්දෙන්ම සියල්ල වැටහේ. පසුගිය කතික තරගය පැවැතියේ විශාකාවේය. මා ඉන් ප්‍රථම ස්ථානය ලද්දෙමි. එහෙත් ඇය දේවියකි. විශාකාවේ මා ගේ පෙළහර ඇය කොහොම දුටුවාද?

“දැන් බලනව ඇති නේද මේ දොලොවක් අතර කෙල්ල කොහොමද විශාකාවෙ දි ඔයා ගේ තරගෙ දැක්කෙ කොහොම ද කියල නේද?”
මල මගුලකි. මේකි නම් නිකම්ම නිකම් දේවියක් නොවේද කොහෙද? හිත ද කියවන්නට දත් නූතනවාදී පුහුණු ඉන්ද්‍රියයන් සහිත දේවියකි.

“ආ.. ඔවු.. ඒක තමයි මාත් මේ බැලුවෙ”
මම ඇයට සමාන්තරව තිබූ මගේ දෑස් අමාරුවෙන් මුදා ගතිමි. කෙල්ලෙක් දිහා චීස් කෑල්ලක් දිහා බලන පූස් තඩියෙක් වගේ බලන්න එපා යැයි හැමදාම ජනාට බනින මගේ ඇස් ද අද පූස් තඩියෙකු ගේ මෙන් වූවා දැයි මට ලැජ්ජා සිතුණි. අම්මට සිරි ... දේවියක් ‍එක්ක ඇස් කන් නාසා සියල්ල පටලා ගත් මට ජනා අමතක විය. ඌ බස් හෝල්ට් එක කෙළවර තනිවම මියුසියෙස් කෙල්ලක සමග අනිමිස ලෝචනයක ය.

“ මගේ යාලුවෙක් එදා තරගෙට ගියා.. ඉතින් අපි කෙල්ලො සෙ‍ට් එකත් ගියා හුරේ තියන්න”
ඇය කියෝගන යයි. මම ආයෙත් ඇගේ හිනාව මත දෑස් අලවමි.

“අද එනවා නේද” ඇය එක්වරම විමසීය.
“ඔවු මේ කෙලින්ම දේවියට තමයි යන්න හදන්නේ”

176 පිඹගෙන ආවේය. ඈ මුවින් කිසිවක් නොකියා සිනා සේලයක් නාවල තාර පාරට හලා බසයට ගියා ය. ජනා ‍මගේ ස්වප්නය නාවල අහස යට නැවතීමේ තිතක් තබා මගේ අතින් ඇද්දේන් අපි දෙදෙනාද අද්දන බස් රථයේ එල්ලුනෙමු.

“අඩෝ 177 පරපුර.. උඹල දේවියන්ට පැණි හලන්න 176 නැග්ග නේද”
විනාසයකි. නාලන්දේ මියුරු පිටුපස සිට බෙරිහන් දෙයි. මුනුත් සෙට් වෙන්නේ මෙහෙම වෙලාවටම ය. මම මියුරුට සිනාසී ජනා දෙස බැලුවෙමි. ඌ නෝක්කාඩුවෙන් ය.

“ඒයි... මොකද බන්”
“දේවියක සුදු ගවුම සැලුනා රැක්ක හොර සීලයක් බිදුනා”
ජනා මගේ කනට කර සෙමින් තාලය අල්ලයි.

“කෑ ගහන්න එපා බූරුවෝ මේ බස් එක”
මම ඌට රවමි. ඒ අස්සේ ඇස් බසය පුරා ඒමේ අත යයි. මම මගේ අකීකරු ඇස් වලට තහංචි දමමි. බස් රථයෙන් ඇස් මුදාගන ජනේලයෙන් ඉවතට වීසි කරමි.

“අඩෝ ... මොකද උඹල ගෙ බස් එක අද තාම නිදිලු ද”
මියුරුවා අප ළගට විත් සෙට් එක දමයි.

“නෑ බන් මේ නෙලුම් මලේ පෙති කඩලා ඔරුවක් හදන්න ආව බන් මේ තෙනුලයා එක්ක”
ජනා රස කරයි. විනාසයි. මූටත් කට වසා ගෙන හිදින්නට බැරි සෙයකි. මම මියුරුවාට හොරෙන් ජනාට රැව්වෙමි. මියුරුවා ටියුබ් ලයිට් ය. ඌ අපි දෙස බලයි

“ කොහෙද බන් කඩන්න මල්???”

“ඇයි මෝඩ පැටියො අර බලපන්කෝ සුදු ගව්මේ බද පටියේ දැවටෙන්නේ මල් නොවෙදෝ”
මූ පෙන්වන්නේ දේවියන් ගේ පාසල් ලාංඡනයේ ඇති මල සහ පොහොට්ටුවයි. මේකා ද අරගෙන මට අද යන්නට වෙන්නේ දේවියට නොවෙයි. අංගොඩට ය. අපරාදේ මේ 176ක නැග්ගේ කියා දැන් සිතේ.

“ඒයි තෙනුලයා ඔය ඔතනින් චුට්ටක් ඉස්සරහාට යමන්කෝ”
ජනා හදිසියේම මා හිට ගෙන උන් තැනින් තල්ලු කරයි. මම ඇස් වලින්ම ඇයි ඇසුවෙමි.. ඌ හිසින් ආයෙත් මට යන්න කියයි. මම බසයේ මදක් ඉදිරියට ඇදුණෙමි. ආයෙත් මල් පිපුණි. එවර නාවල පාරේ නොව. 176 හේ ය.
මම ද සිනාසුනිමි.

“අද හොදට කරන්න.. අපිත් එන්නම් කෝ බලන්න”
ඇය වට පිට බලා සෙමින් පවසයි. ඉන් පසුව ඇය බොහෝ දේ දෙඩුවාය. ආගිය කතා වට තුනකින් අපි මිතුරන් වී උන් හ. බහින්නට තැන හරිය. ඇයට එය සුපුරුදු ය. මට නුපුරුදු ය. බහින්නට ඉදිරියට යන්නට පෙර ඇය මා දෙසට හැරී කාටත් නොඇසෙන සේ සෙමින් කතා කලාය.

“තෙනුල”

“මම ඔයා ගෙන් දෙයක් ඉල්ලන්න දෙනවා ද?”

මගේ ඇස් බසයේ වහලයේ වැදී නැවත ඇගේ මුහුණේ ගැටුණි.. දෙවියනේ ඇය මේ ඉල්ලන්නට හදන්නේ මොනවාද ?

----------------------------------------
ලබන සතියට

උපුටා ගැනිම කර්තෘ අවසරය මත සිදුවිය යුතුයි. එමෙන්ම අයිතිය කර්තෘ සතුවේ

Comments