මේ සා විසල් අහසක් යට පළමු කොටස



 
                 මේ සා විසල් අහසයට නවකතාවේ පළමු කොටස එළි දැක්වීම මෙහි දෙවන කොටස අඟහරැවාදා දිනයේ ඔබ අතට පත් වනු ඇත.


01 කොටස
_________
කොළඹ අහස යට කුකුළන්ද නිදනවා විය යුතු ය. ස්වභාවික කුකුළා වෙනුවෙන් ඇද ඉහත්තාවේ නිදාහිද එක්වරම අවදිවී මරහඩ තලන යාන්ත්‍රික කුකුළා අල්ලා ගත් මම ටික්.. ටික්.. ටික්.. ටික්... ගාන කුකුල් හැඩයේ ඔරලෝසුවේ කට වැසීමි. බිනර මහේ හීන් හුළං හිතුවක්කාර කම් කරන්නේ මේ මහ පාන්දර ඇගේ රෝම කූප වලටත් සීතල පිඹිමිනි. මම ජනා දෙස බැලීමි. මූට සීතල කියා වගේ වගක් නැත. මුගේ හත්මුතුපරම්පරාවම තරගයකට ඉදිරිපත් කළ හොත් දිනා ගත හැකි එකම තරගය නිදා ගැනීම විය යුතුය. රාත්‍රියටත් නිදා ගන්නට නොදෙන මුගේ ගෙරවිල්ලට කලුවරද වෛර කරනවා ඇතැයි මට සිතුනේ ජනා සමග බෝඩිමේ නිදාගත් පළමු දා ම ය. උෟ දැන් මගේ පාසල් සේම බෝඩිම් සගයා ද වෙයි.

“ඒයි ... කුම්භකරණයා ”
මම අනෙක් පස ඇදේ උන් ජනා ගේ පශ්චාත්භාගයට පයින් ඇන්නෙමි. යන්තමට ඔලුව එසවූ ජනා ආයෙත් කොට්ටය තුරුල් කර ගත්තේය.

“ඇයි? බන් මේ වද දෙන්නෙ... උඹට නිදා ගන්න බැරි නම් මටවත් නිදාගන්න දියන්කෝ බන්...”
මූගේ චුරු චුරු ව මට පුරුදුය. රේඩි‍යෝවේ උදෑසන පිරිත් දේශනය තරම්ම ජනාගේ මේ කන්කෙදිරිය මම බෝ‍ඩිම් ජීවිතය ආරමිභ වූ දා පටන්ම අසා ඇත්තෙමි.

“වවුල ගෙ මගුල් ගෙදර ආව නම් එළ්ලිලා හිටු කියුවලු.. මාත් එක්ක ඉන්නවා නම් එහෙම නිදා ගන්න බැහැ... කෝ.. කෝ... නැගිටපන්...”
මම ජනා ගේ පොරෝනය ඇද විසි කලෙමි.

“වවුල හොදයි යකෝ උඹට වඩා ඒක රෑ අවදියෙන් ඉදල දවල් නිදියනවා.. ඒකට උඹ.. දවාලෙත් නිදි නෑ රෑත් නිදි නෑ... නිදියන අපි‍ට නිදියන්න දෙන්නෙත් නෑ...”
ජනා ඇද මත ඉදගන පද්මාසනාරෑඪය.. මම නැගිට ගොස් වීදුරුව බිදුනු ජනේල් පියන ඇරියෙමි. නිරුවත් පපුවට හුළග හාදු තියයි. සේනානායක මාවත තාමත් අඩ අදුරේය. ආලෝකයට ඉඩ දී අදුර රැගෙන යන්නට හදන මේ උදෑසන හුළග කාමරේ අදුර ද තුරුල්කර ගෙන මුව විවර කර හිදින කවුලුවෙන් ගලා යයි.

''මොනාද බන් බලා ඉන්නෙ.. වැස්සියෙක් කිරි දොවන්න හදනවා වත් ද?
මුගේ කට ඇරියොත් කුණුහරුපයකි. වැඩි දවස් නොගොහින්ම මේ සේනානායක මාවතෙන් අපි දෙන්නාටම යන්න වෙන්නේ අතපය ද කඩා ගෙන ය. මේ ගෙන්දගම් පොලොව මත ආයෙමත් බෝඩිම් හොයනවා බොරුය. මේ බෝඩිමත් හොයා ගත්තේ දේශපාලනේ උගන්වන සදරු සර්ට පින් සිද්ද වෙන්නට ය. උදේ හයට බෝඩිමෙන් එළියට බැසගත් විට යන්තම් පාසල ආරම්භවෙන්නට පෙරම 176 ගොස් රාජගිරියෙන් බැස හා 177ක පිහිටෙන් පාසලට යා හැකිය.

''නෑ ... මේ මං බැලුවෙ මද කිපිච්ච වස්සෙක් හින්දා නාවල පාරෙ හිගමන් යදින්න වෙච්ච කුමාරයෙක් යනවා උදේම.. ඒ දිහායි.''

“අඩෝ...නෝන්ඩි කුමාරයන්ට වැඩිය මද කිපිච්ච වස්සො හරිම ස්මාට් යකෝ...”
ජනා උගේ කොට්ටය ගෙන මට දමා ගැසී ය. මම උගේ හඩු කොට්ටය ඔසවා ඌටම යළි දමා ගැසීමි.

තියාගනින් උඹේ ආලියා බාත්... ගන්දස්තාරේ බෑ..
ජනා කොට්ටය තුරුල් කර වැළදගන පෙන්වයි. උගේ ප්‍රියතම නිළිය ආලියා බාත් ය. ඌට නින්දට කොට්ට දෙකක් අවශ්‍යය... එකක් හිසට ය. අනික පපුවට ය. කොට්ටය පපුවට තුරුල් කර ගන්නා හැම රැයකම ආලියා බාත් සිහිනෙන් විත් ඌ ඉබින වග මා දන්නේ මහ රෑ ඌ පෙරලෙන පෙරලිල්ලට ය.. ආලියා බාත් කෙසේ වෙතත් මූට මහ රැයේ බඩේ අමාරුවක් වත්දැයි සිතී මා පළමු දිනයේ ම නින්දෙන් අවදි කළ විට මූ මට නොසෑහෙන්න බැණ වැදුණු හැටි මතකය.

“මොකද්ද තෙනුවෝ උඹ ඒ කරපු වැඩේ... බලපන් ආලියා ඇවිත් මට ලිප් කිස් එකක් දෙන්න හැදුවා විතරයි... උඹ ආවනෙ මෙතන අකුල් හෙලන්න...”
මූට ආලියා බාත් සින්ඩ්‍රෝම් නමින් අලුත් මානසික රෝගයක් වැලදී ඇති බව මා දන්නේ එදා ය... මට තනියම හිනා යයි.

“මේ නැගිටපන්... නැගිටපන්... ඔතන ඉදන් සේනානායක පාරේ ඔපිස් වැස්සියන්ට පුන්නක්කු බෙදන්නෙ නැතුව... අද දේවියට යන්න තියෙනවා නෙ... මට..”
හදිසියේම ජනා කුමක්දෝ මතක් වී මෙන් එසේ කියා ඇදෙන් බිමට පැන්නේ ය.

අද අන්තර්පාඨශාලීය කතික තරගයකි. පාසල් කිහිපයක් තුල දින කිහිපයක් පැවති එහි අවසාන තරගය අද ය... මම ඊට සුදුසුකම් ලබා ඇත්තෙමි. අද ජනාත් මමත් අපේ පාසල වෙනුවෙන් එහි යන්නට නියමිත ය. තරගකරුවා මා උවද දේවියට යන ගමනට මටත් වඩා කුල්මත්ව උන්නේ ජනා ය...

''යමන්... යමන්... වොෂ් එකක් දා ගන්න..''

යන්තම් ගලා හැලෙන හිරු එළිය සේනානායක මාවත සිඹිද්දී මම ජනාවත් ඇදගෙන මිදුලට බැස්සෙමි. කොල්ලන් යනු අපිලිවෙල ජාතියකි. එහෙත් උන් කළ යුතු දේ කෙසේ හෝ කරන ජාතියකි. වෙනදා වගේ ම ජනාත් මමත් සූදානම් වී බස් එක ගන්නට නාවල පාරට ආවේ දුවගෙනමය. නාවල පාර අයින දිගේ නේක නේක පාසල්වලට යන කොල්ලන් කෙල්ලන් සැමතැනම ය. අපි දෙන්නා නාවල පාර පැන රාජගිරියට යන පැත්තේ බස් හෝල්ට් එකේ අයිනකට ලන්වීමු. ඒ අපේ සුපුරුදු පොට් එකයි. ජනාගේ වැ‍ඩේ බසයක් එනතුරු මෙතනට වී ඒ අසල ඇති පුඩ් සිටියට උදේම වැඩට එන කෙල්ලන්ටත් පාරේ යන ඔපිස් කෙල්ලන්ටත් බැල්ම හෙලීමය.

“ඒයි .... තෙනුලයා අන්න...’’

මා දෙසට හැරී උන් ජනා ගේ ඇස් උඩ ගියේත් ... මට පිටුපසට අත දිගු කලේත් ... එසේ කියැවුනේත් .... එක්වරමය. ඌ සීරියස් පිටය... එබැවින් මම ද සැනෙකින් ආපසු හැරුණෙමි..
--------------------------------

ලබන සතියේ හමුවෙමු..
_________________________________
මේ සා විසල් අහසක් යට
උපුටා ගැනීම තහනම් අයිතිය කර්තෘ සතුවේ .
ගයාන් අබේසිංහ සතුවේ අයිතිය.
සැම අඟහරැවාදා දිනකම.

Comments